ඉන්දීය උපනායකයාටත් තැන අහිමි කළ ඉශාන් කිෂාන්ගේ සුපිරි පිපිරීම – ඉන්දීය ආරම්භක යුගලය වෙනස් වෙයිද?

2026 විස්සයි20 ලෝක කුසලානය ආරම්භයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා වේ. මෑතකදී නිමාවූ සයිඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී ඉනිම් 10කදී ලකුණු 517ක් රැස්කරමින් දැක්වූ සුපිරි දක්ෂතාව හේතුවෙන් ඉශාන් කිෂාන් කෙරෙහි තේරීම් කමිටුවේ දැඩි අවධානය යොමු වී තිබේ.
දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක වූ උපනායක ශුබ්මන් ගිල් වෙනුවට ඉශාන් කිෂාන් සංචිතයට කැඳවීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර ඇත. ලෝක කුසලාන සංචිතයේ සිටින සංජු සැම්සන් ද මේ වන විට දක්ෂතා අතර නොමැති පසුබිමක, තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමට කිෂාන් සමත් විය. නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ දෙවන තරගයේදී ලකුණු 76ක් ලබා ගනිමින් තරගයේ වීරයා වූ ඔහු, අද පැවති තරගයේදී සිය මංගල ජාත්‍යන්තර විස්සයි20 ශතකය වාර්තා කළේය.
පන්දු 43කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 103ක් රැස් කළ කිෂාන්ගේ ප්‍රහාරාත්මක වේගය 239.53ක් වැනි ඉහළ අගයක සටහන් විය. ඒ අනුව එළැඹෙන ලෝක කුසලානයේදී අභිෂේක් ෂර්මා සමඟ ඉශාන් කිෂාන් ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට ඇති ඉඩකඩ වැඩි වී ඇති අතර, තිලක් වර්මා අංක තුන පිතිකරු ලෙස කණ්ඩායමට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
