Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ලෙජන්ඩ්ලා ඉද්දී ලෝකයම ඉල්ලන්නේ රස්තියාදුකාරයෙක්ව – Yoker King ලසිත් මාලිංග ගැන ක්‍රිකට් රසිකයකු තැබු අපූරු සටහන.

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්…ඉතිං ඔන්න ඔය මහත්මා ක්‍රීඩාවේ පෙරළියක් කරන්න එදා කොට කලිසමටයි ටී ෂර්ට් එකටයි බාටා දෙකටයි ඇළුම් කරපු කැරලි කොණ්ඩය වවා ගත්තු රත්ගම රස්තියාදුවේ යන කොලු ගැටයෙක්ට හැකි වෙනවා.

එදා චමිපික රාමනායකගේ ඇස ගැටෙන මාලිංගව වරක් ශ්‍රී ලංකා ජාතික කන්ඩායමේ පිතිකරුවන්ට දැල තුල පුහුණුවීම් කටයුතු කරන්න මාලිංගට අවස්ථාවක් දීලා එදා හිටපු ජාතික කන්ඩායමේ පුහුණුකරුගෙන් කන පිරෙන්න චම්පික සර් බැනුම් අහනවා.

මොකද ඒ තරමට මේ කොල්ලගේ පන්දු යැවීම එදා ජාතික කන්ඩායමේ පිතිකරුවොත් ඇඹරුනා.

පාදවල ඇගිලි තුවාල කරන්නට හැකි තරම් වේගයෙන් වැටෙන යෝකරයට එදා ජාතික කන්ඩායමේ පිතිකරුවන් මුහුණ දුන්නේ හරිම අමාරුවෙන්…

කොහොම හරි ජාත්‍යන්තර දොරටු මාලිංගට විවර කරලා දෙන්න අසීමිත කැපවීමක් තිබුනු මාලිංගගේ දක්ෂතාත් එක්ක එදා චම්පික සර්ට පුළුවන් වෙනවා.

වැඩිකල් නොයා මාලිංග කියන්නේ කඩුළු ලබා ගන්න නායකයා පාවිච්චි කරන බර අවියක් වෙන්න කොහෙවත් හිටපු ක්‍රිකට් පිටියේ රස්තියාදු ස්වරූපයක් තියෙන එකෙක්ට හැකි වෙනවා.

ඉතිං මාවන් අතපත්තු නායකත්වය දරද්දී ජාත්‍යන්තර දොරටු විවර කරගත් මාලිංගගෙන් එදා සිට අද වෙනකල් ශ්‍රී ලංකා ජාතික කන්ඩායමේ හිටපු නායකයින් වැඩ ගත්තේ මාලිංග වේග පන්දුවේ ප්‍රභල තුරුම්පුවක් කරගෙන…

එදා චමින්ද වාස්ගෙන් මුල් ඕවර කිහිපයේ ඵල නෙලා ගත්තු නායකයා අවසානයේ ප්‍රතිවාදීන් ජයග්‍රහණය සොයා යද්දී අවසාන පන්දුවාරයේ සියල්ල ප්‍රතිවාදීන්ටම වාසිදායක වෙලා තියෙද්දි පන්දුව ගෙනැවිත් නායකයා භාර කලේ ලසිත් මාලිංගට..

.මොකද කන්ඩායමේ මොන තරම් ජගතෙක් හිටියත් අවසාන පන්දුවාර කිහිපයේ මාලිංග තරම් විශ්වාසවන්ත පන්දු යවන්නෙක් තවත් නෑ…

එදා සිට මෙතෙක් මාලිංග ජයග්‍රහණය කර දුන් තරග වල තවත් කොටස්කාරයෙක් හිටියා.ඒ තමයි නුවන් කුලසේකර…එයාගේ සහයෝගය මාලිංගගේ කෙරුවාවල් තවත් ලේසි කරා…

ඒ වගේම තමයි නායකයාට කඩුල්ලක් ඕනේ උනු වහාම ක්‍රියාත්මක කරවන්නේ ලසිත් මාලිංග…ඒ දේ කරන්න මහේලලා විතරක් නෙමෙයි එදා ඉදලා හිටපු සෑම නායකයෙක්ම පුරුද්දක් කරගෙන හිටියා…

මොකද මාලිංග තරම් කඩුළු ලබා ගන්න පන්දු යවන විශ්වාසවන්තයෙක් නායකයාට නෑ…

ඉතිං ඒ විශ්වාසය මාලිංග රැක්කේ ලංකාවට විතරක් නෙමෙයි.

මුම්බායි කියන්නේ මාලිගේ මහ ගෙදර වගේ…

මාලිංග කියන්නේ ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල කවදාවත් මුල් තැන ගත්තු පන්දු යවන්නෙක් නෙමෙයි.ඒත් කන්ඩායමේ අංක එකේ ඉන්න මාලිංගට වඩා ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් ඉන්න කවර පන්දු යවන්නා හිටියත් අවසානයේ මුම්බායි නායකයා පවා පන්දුව භාර කලේ මාලිංගට…

මොකද මාලිංග ක්‍රීඩා කරන්නේ මොන වගේ තරගයක්ද කියන දේ ඔහුට අදාල නෑ…සිය කන්ඩායම වෙනුවෙන් පුළුවන් සෑම අවස්ථාවේම මාලිංග එයාට පුළුවන් උපරිමයම කරනවා.ඉතිං ඒ නිසාමයි ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයා වෙච්චි මුකේෂ් අම්බානි වසර ගණනාවක් මාලිංගව තමන්ගේ කන්ඩායමේ තියාගෙන ඉන්නේ…

අම්බානිට පිස්සුවක් නෑ…නිකරුනේ ක්‍රිඩකයින්ව වසර ගණනක් තමන්ගේ කන්ඩායමේ තියාගෙන ඉන්න.ඒත් ලෝකේ ශ්‍රේණිගත කිරීම්වල මාලිංගට වඩා ඉදිරියෙන් ඉන්න පන්දු යවන්නෝ අම්බානි ප්‍රතික්ෂේප කරලා මාලිංගව අදටත් තම කන්ඩායමේ තියාගෙන මාලිංග අම්බානිගේ සුවච කීකරු ගෝලයෙක් කර ගන්නේ ශ්‍රේණිගත කිරීම් වලට වඩා මාලිංගට තනි පන්දුවාරයකින් තරගයක් කන පිට ගහන්න පුළුවන් කියන කාරණාව අම්බානි පවුල මනාව වටහාගෙන…

ඔන්න ඔය නිසාමයි මෙවර 2019 අයි.පි.එල් අවසාන තරගයේදිත් ප්‍රභල චෙන්නායි කන්ඩායමට එරෙහිව චෙන්නායි ජයග්‍රහණයට පිඹුරුපත් තනද්දී නායක රොහිත් ශර්මා අවසාන පන්දුවාරය මාලිංගට භාර කරලා නොපැතූ ජයක් නැවතත් මාලිංග මුම්බායි පිලට හිමි කර දෙන්නේ…
ඉතිං මාලිංග එහෙම කත් ඇදලා ජයග්‍රහණයන් හිමිකර දුන්නේ මුම්බායි වලට විතරක්ම නෙමෙයි.

එදා දකුණු අප්‍රිකාව 2007දී මාලිංග ඉදිරියේ එක පෙලට දණ ගහපු අසිරිය දැකපු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ලෙජන්ඩ්ලා ඉද්දි මාලිංගට ඇරයුම් කරන්නේ ඔවුනුත් මාලිංග කියන රස්තියාදුකාරයාගෙන් ලෙජන්ඩ්ලාට වඩා විශේෂත්වයක් දැකපු නිසා…

ඉතිං එහෙම ආරාධනා ලැබුනු මාලිංග ක්‍රීඩා කරපු බිග් බෑෂ් තරගාවලි ඉතිහාසයේ වසර ගණනක් බිග් බෑෂ් පිටියේ කිසිදු ලෙජන්ඩ් කෙනෙකුට ලගා වන්නට බැරි වුන හොදම පන්දු යැවීම සටහන් කර ගන්නේ 2012 වර්ෂයේ දෙසැම්බර් 12 වෙනිදා පර්ත් කන්ඩායමට එරෙහිව සටහන් කර ගන්නේ ක්‍රිකට් ලොව ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වැජඹුණු කිසිම පන්දුයවන්නෙක්ට නොහැකි වූ පිට පිට පන්දු හතරකින් කඩුළු හතරක් දවා ගත්ත රස්තියාදුකාරයා බිග්බෑෂ් පිටියෙත් නොමැකෙන නාමයක් කැටයම් කරගෙන…

එදා ජේම්ස් ෆෝක්නර් පර්ත් පලමු කඩුල්ල ලෙස හර්ෂල් ගිබ්ස්ව පිටියෙන් ඉවත් කරද්දි දෙවෙනි පන්දුවාරයේ සිට ලාංකීය සිංහයා මෙල්බර්න් වගකීම කරට ගන්නේ MJ Northගෙන් කඩුළු දඩයම ආරම්භ කරලා…

ඒ අනුව Northට මාලිංග යොමු කල පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටෙමින් ක්‍රීඩාගාරයට පියමං කරන අතර ඉන් පසුව Stoinsව පිටියෙන් නෙරපා හරින්නේ ඔහුගේ ඉනිම ලකුණු 9කට සීමා කරලා…

ඉන් පස්සේ හිස ඔසවන මාලිංග පර්ත් ලකුණු පුවරුව 55ක් ලෙස සටහන් වෙද්දී පර්ත් ඉනිමේ 6 වෙනි කඩුල්ල ලෙස Cartwrightව පිටියෙන් ඉවත් කරනවා…

මාලිංගගේ සිව්වැනි ගොදුර ලෙස Coulter Nile දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙලා…
ඉන් පස්සේ Triffittගේ කඩුල්ලත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් පර්ත් ඉනිමේ පසුපෙල නාය යෑම ඉක්මන් කරවන මාලිංග තම කඩුළු පහක දවා ගැනීම සපුරා ගන්නේ සියල්ල අවසන් කරලා නම් නෙමෙයි.

නැවතත් ක්‍රියාත්මක වෙන මාලිංග හයවෙනි කඩුල්ල ලෙස Mennieගේ කඩුල්ල දවා ගන්නා මාලි පුරස් ඉනිම පුරා කඩුළු හයක් පර්ත් කන්ඩායමට එරෙහිව ඩැහැ ගන්නට සමත් වෙනවා.

එකී දස්කම නිසාම පර්ත් කන්ඩායම මෙල්බන් කන්ඩායම ඉදිරියේ ලකුණු 69කට සියල්ලන් දැවී යන්නේ සිය පන්දුවාර 20න් පන්දුවාර 15යි පන්දු 2කට පමණක් මුහුණ දීලා…

අවසානයේ ලෙජන්ඩ්ලා වෙනුවට ගත්තු රස්තියාදුකාර මාලිංග බිග්බෑෂ් පිටියේ හොදම පන්දු යැවීම සටහන් කර ගන්නේ සිය පන්දුවාර හතර තුල එක් නිලකුණු පන්දුවාරයක් ඇතුලුව ලකුණු 7ක් පමණක් පිතිකරුවන්ට ලබා දීලා කඩුළු හයක් දඩයම් කරලා…

ඉතිං ලෝකේ මොන ජගතා හිටියත් මාලිංග ඉන්නේ වෙනම ලෙවල් එකක…අංක ගණිතයට ලංවිය නොහැකි හැකියාවක් මාලිංගගේ අතට හමුවෙන හාදුවකින් පිතිකරුවා දෙසට ඇදෙන පන්දුවට කරන්න පුළුවන් !

ලසිත් මාලිංග කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි.ඉන්දියාවේ අම්බානිගේ මුම්බායි වලට විතරක් සීම වෙච්චි එකෙක් නෙමෙයි.ලෝකේ කොහේ ගියත් නායකයාට බලාපොරොත්තු වෙන දේම ඉටු කරලා දෙන ලෝකේ ඕනෑම නායකයෙකුගේ විශ්වාසවන්තම වේග පන්දුවේ
ගෝලබාලයා ලසිත් මාලිංග ඉන්න තැන ඔහුම පමණයි.

මාලිංග කියන්නේ අපේ ක්‍රිකට් වල ජාත්‍යන්තර සන්නාමයක් කියන්න තව මොන කතාද ?

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
20
+1
9
+1
3
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7