ගියවර ශූරයන් ඉවතට ඇඳ දමමින් ප්‍රබල රටක් 19න් පහළ ලෝක කුසලානයේ අවසන් සටනට

පසුගිය වර ශූරයන් වූ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමමින්, 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ සමත්ව තිබේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3ක් ලකුණු 60ක් තුළ දැවී ගියද, නායක තෝමස් රිව් සහ කැලෙබ් ෆෝල්කනර් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 135ක සබඳතාව ඔවුන්ගේ ඉනිමට ශක්තිමත් පදනමක් දැමීය.
එහිදී තෝමස් රිව් පන්දු 107කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් රැස්කළ ලකුණු 110 එංගලන්ත ඉනිමේ කැපී පෙනෙන දස්කම විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නායක ඔලිවර් පීක් අගනා ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට දැඩි සටනක නිරත වූ අතර, විශේෂයෙන්ම 46 වැනි පන්දුවාරයේදී ලකුණු 22ක් උදුරා ගනිමින් තරගයේ පාලනය නතු කර ගැනීමට උත්සාහ කළේය.
එහෙත් සෙබස්තියන් මෝර්ගන් සහ ජේම්ස් මින්ටෝ ප්රමුඛ එංගලන්ත පන්දු යවන්නන් අවසන් මොහොතේ දක්වන ලද දක්ෂතාව හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 250කට සීමා වූ අතර,
ඒ අනුව එංගලන්තය අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය. ඔවුන් එළඹෙන සිකුරාදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව හෝ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
