පරාජය වුණත් මගේ මානසික මට්ටම ඉහළයි:”අපි ලෝක කුසලානයට සූදානම්!” කඩුලු 5ක් දවාගත් චමීර අවංකව කතා කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් එංගලන්තයට හිමිකර දෙමින් ඊයේ (03) පල්ලේකැලේදී නිමාවට පත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ඉනිම ලකුණු 128කට සීමා කරමින් ජයග්‍රහණය සඳහා මාවත සකස් කළද, පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 129ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 116ක් පමණි.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කියා සිටියේ, තරගාවලිය පරාජය වුවද කණ්ඩායමේ සහ තමාගේ මානසික මට්ටම ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් යහපත් මට්ටමක පවතින බවයි. ඊයේ තරගයේදී ලකුණු 21කට කඩුලු 05ක් දවාගනිමින් සිය පෞද්ගලික හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවද ඔහු සඳහන් කළේය.
“තරග පරාජය වීම කණගාටුවට කරුණක් වුවත්, පන්දු යවන්නන් ලෙස අපේ වගකීම අපි ඉටු කළා. පිතිකරණයේදී යම් යම් අඩුපාඩු සිදු වුණා. නමුත් ලෝක කුසලානයට යද්දී මේ අත්දැකීම් එක්ක මානසිකව ශක්තිමත්ව ඉදිරියට යන්න අපිට පුළුවන්,” යනුවෙන් චමීර වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
