පාකිස්තානයේ වර්ජනය ගැන අශ්වින්ගෙන් අනාවැකි

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන තරගය සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය පිළිබඳව ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සිය අදහස් පළ කර තිබේ. බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්, එළැඹෙන 15 වැනිදා පැවැත්වෙන මෙම තරගය වර්ජනය කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇති පසුබිමක, අශ්වින් පවසන්නේ උද්වේගකාරී ස්වභාවය නිසාම මෙම තරගය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බවයි. කෙසේ වෙතත්, යම් හෙයකින් පාකිස්තානය මෙම තරගය වර්ජනය කළහොත්, එහි ප්‍රතිවිපාකයක් ලෙස පාකිස්තානු සුපර් ලීගයට (PSL) විදෙස් ක්‍රීඩකයින් සහභාගී වීම වැළකී යා හැකි බවටද ඔහු අනතුරු අඟවා ඇත. දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය නැවත සලකා බලන ලෙස දන්වා ඇතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් ඒ පිළිබඳව සිය අවසන් නිල ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.
“ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය 100%ක්ම පැවැත්වෙනු ඇත. ඉදිරි දින 3-4 තුළ පාකිස්තානය සිය තීරණය අවලංගු කරනු ඇත.
ඉන්දියා – පාකිස්තාන තරගය පැවැත්වෙන දැකීමට මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම මේකේ ව්‍යාපාරික තීරණ ගොඩක් තියෙනවා.
පාකිස්තානය සිය තීරණය වෙනස් නොකළොත් ඔවුන්ට මූල්‍යමය පාඩුවක් ඇතිවිය හැකිය. ඒ වාගේම ඔවුන්ට විකාශකයින්ට සිදුවූ පාඩුව ආපසු ගෙවීමට සිදුවනු ඇත. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට සම්මුතියකට පැමිණීමට සිදුවනු ඇත” යනුවෙන් අශ්වින් පවසයි.
