හරිම සතුටුයි ඔයා ගැන පතී! – මාලිංග ගුණ කියයි.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩන්කන් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුවද, ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පැතිරණ දැක්වූ දක්ෂතාව කාගේත් අවධානයට යොමු විය. ලකුණු 134ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට එරෙහිව සිය පන්දුවාර 04 තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත් විය.
මතීෂගේ මෙම විශිෂ්ට පන්දු යැවීම අගය කරමින් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු පුහුණුකරු ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “අද සීයාට බැනපු අය ගොඩක් දෙනෙක් සතුටු කරන්න ඔයාට පුළුවන් වෙලා. හරිම සතුටුයි ඔයා ගැන පතී! මතකයිනේ කිව්ව එකක් දෙකක් වැරදුනොත් අයිනේ බනිනවා පතී! ඒකට දැන් ඔයා පුරුදු වෙන්න. අමාරුම තැන අමාරුවෙන්ම හිටගන්න,” යනුවෙනි.
මාලිංගගේ මෙම සටහන තුළින් මතීෂ පතිරණගේ දක්ෂතාව අගය කරන අතරම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එල්ල වන පීඩනයට සහ විවේචන වලට ශක්තිමත්ව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද ඔහු උපදෙස් ලබා දී තිබේ.
