ක්‍රිකට් ලොවම කැළඹෙයි: ලෝක කුසලානයට අවසර දුන් පාකිස්තානය, ඉන්දියාව ඉදිරියේ ‘නැවතී’ සිටින්නේ ඇයි?

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායමට එරට රජය අද (1) නිල වශයෙන් අනුමැතිය ලබා දුන් නමුත්, මුළු මහත් ක්‍රිකට් ලෝකයම දෑස් දල්වා බලා සිටින ඉන්දියා-පාකිස්තාන ගැටුම සම්බන්ධයෙන් අමිහිරි තීරණයක් ගෙන තිබේ.
එරට රජය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ අනෙකුත් තරග සඳහා පාකිස්තානය සහභාගී වුවද, එළැඹෙන 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි.
මෙවර ලෝක කුසලානයේ ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව සමඟ පාකිස්තානය තරග වැදීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝකයේ වැඩිම ආදායමක් සහ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නා ඉන්දියා-පාකිස්තාන තරගය මෙලෙස වර්ජනය කිරීමට ගත් තීරණය හේතුවෙන් තරගාවලියේ ඉදිරි පැවැත්ම සහ වාණිජමය වටිනාකම පිළිබඳව බරපතළ ගැටලුවක් මතුව තිබේ.
රජයේ මෙම දේශපාලනික මැදිහත්වීම හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මීළඟට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව මුළු මහත් ක්‍රීඩා ලෝකයම දැන් සිටින්නේ දැඩි කුතුහලයෙනි.
