දුලිප් මෙන්ඩිස්ට නව තනතුරක්

ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 14ක (2012 සිට) අභිමානවත් සේවයක නිරත වූ හිටපු ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් මහතා එරට ප්‍රධාන ක්‍රිකට් සංවර්ධන නිලධාරී (Chief Development Officer) ලෙස උසස් කර තිබේ. ඕමාන ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරු ලෙස සැලකෙන ඔහු, එරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ ප්‍රධාන නියමුවා ලෙස ගෞරවාදරයට පාත්‍ර වූවකි.
දුලිප් මෙන්ඩිස් මහතාගේ මගපෙන්වීම යටතේ ඕමානය පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලි 4ක් සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, එය ආසියානු ආශ්‍රිත (Associate) රටක් ලැබූ ඉහළම ජයග්‍රහණයකි. එමෙන්ම 2015 වසරේදී විස්සයි20 ජාත්‍යන්තර වරම් සහ 2019 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් ඕමානයට දිනා දීමටද ඔහු සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
මෙම උසස්වීමත් සමඟ ඔහු ඕමාන ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන උපායමාර්ගික සැලසුම් සහ ජාතික වැඩසටහන් මෙහෙයවීමේ වගකීම භාර ගනු ඇත. ඔහු වෙනුවට ඕමාන ජාතික කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස සුලක්ෂාන් කුල්කර්නි පත් කර ඇති බව ඕමාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබේ.
