පාකිස්ථානය සමඟ තරගයට අපි කොළඹට එනවා – ඉන්දීය නායකයා කියයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පවත්වනු ලබන 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලියේ වඩාත්ම අවධානයට ලක්වන තරගය ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුම එළඹෙන 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම මේ වන විටත් දිවයිනට පැමිණ සිටියද, ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එම තීරණාත්මක තරගයට තමන් සහභාගී නොවන බව ඔවුන් නිල වශයෙන් දැනුම් දී තිබේ. ඊයේ (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාකිස්ථාන විස්සයි-20 නායක සල්මන් අලි අගා ප්‍රකාශ කළේ, ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකිරීමට පාකිස්ථාන රජය ගෙන ඇති තීරණයට තමන් ඇතුළු කණ්ඩායම එකහෙළා එකඟ වන බවයි.
කෙසේ වුවද, පාකිස්ථානයේ මෙම වර්ජනය හමුවේ වුවද ඉන්දීය කණ්ඩායම නියමිත පරිදි තරගය සඳහා කොළඹට පැමිණෙන බව ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව් තහවුරු කර ඇත. ඊයේ මුම්බායි හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඉන්දියාව කිසිදු අවස්ථාවක පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, 15 වනදා තරගය වෙනුවෙන් කොළඹ බලා පැමිණීමට නියමිත ගුවන් ගමන් පවා දැනටමත් වෙන්කර අවසාන බවත්ය.
මේ අතර, පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවෙන් බලා සිටින මෙම තරගය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමේ වැදගත්කම එම ලිපිය මගින් අවධාරණය කර ඇති බව වාර්තා වේ.
