ලෝක කුසලානය අවසානයත් සමඟ සනත් ජයසූරියගේ තීරණය ගැන දැඩි කතාබහක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ සනත් ජයසූරිය මහතා, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා එක්වනු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මේ වන විට ප්‍රබල රාවයක් පැතිර යමින් පවතී.
2024 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, ඊයේ දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සිය පුහුණුකාරීත්වයේ වගකීම භාරගන්නා ලෙස ජයසූරිය මහතාගෙන් නිල වශයෙන් විමසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ආරාධනය සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා මෙතෙක් ස්ථිර තීරණයක් ප්‍රකාශ කර නොමැති වීම විශේෂත්වයකි. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) දක්ෂ පුහුණුකරුවෙකු වන ජයසූරිය මහතාගේ සේවය මෙරටට අහිමි වීමට ඉඩ නොදෙමින්, ඔහු වෙත උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ (High Performance Centre) සුවිශේෂී තනතුරක් පිරිනමා තිබේ.
එම නව තනතුරේ රාජකාරි එළඹෙන සඳුදා දින සිට ආරම්භ කිරීමට ඔහු අපේක්ෂා කරන බව වාර්තා වන අතර, ඔහු බංග්ලාදේශයේ ආරාධනය පිළිගන්නේද නැතහොත් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දිගටම රැඳී සිටින්නේද යන්න පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධානය සහ කුතුහලය යොමුවී තිබේ.
