Cricket News

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එක් වූ පිතිකරණ පුහුණුකරු

සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි-20 තරගයෙන්ද පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අහිමි කර ගත්තද, කණ්ඩායමේ පිතිකරණ විලාසයේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් පවසයි. ඊයේ (01) පල්ලේකැලේදී පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පළමු තරගයට වඩා දෙවන තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වඩාත් හොඳින් පන්දුවට පහරදුන් බවයි.

කණ්ඩායමේ පිතිකරණ ආරම්භය ඉතා ප්‍රබල වුවද මැද පෙළදී ඉනිම අඩාල වීම පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාත්‍රෝර් මහතා සඳහන් කළේ, එම ගැටලුව තමන්ද හඳුනාගෙන ඇති බවයි. “අපි හොඳින් ආරම්භ කරනවා, නමුත් මැද පෙළදී යම් අසාර්ථකත්වයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. අපි මේ වන විට කණ්ඩායමක් විදිහට ඒ දුර්වලතාවය මගහරවා ගන්න උපරිමයෙන් මහන්සි වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී පුහුණුකරුගේ විශේෂ අවධානයට ලක්වූයේ ඊයේ තරගයේදී වේගවත් ලකුණු 40ක් රැස්කළ නවක ක්‍රීඩක පවන් රත්නායකයි. පවන් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ලැබුණු ඉතාමත් “හොඳ සලකුණක්” බව පැවසූ ඔහු, වත්මන් පරම්පරාවේ පවන් වැනි දක්ෂතා ඇති ක්‍රීඩකයින් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවද අවධාරණය කළේය. පරාජය හමුවේ වුවද තරුණ ක්‍රීඩකයින්ගේ දස්කම් සහ කණ්ඩායමේ ක්‍රීඩා විලාසය දියුණු වීම ඉදිරි 2026 ලෝක කුසලානය සඳහා හොඳ පෙරනිමිත්තක් බව පිතිකරණ පුහුණුකරුගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button