Cricket News

සරණාගත කඳවුරක සිට ක්‍රිකට් ක්‍රීඩාව අරඹා ලෝකයේ අංක එක වූ ඇෆ්ගන් නායකයා සමුගනී.

වසර 17කට අධික කාලයක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අසමසම මෙහෙවරක් ඉටු කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘතීන්ගෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 2009 වසරේදී ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ ප්‍රථම එක්දින තරගයට සහභාගී වෙමින් ජාත්‍යන්තර වරම් දිනාගත් ඔහු, එතැන් පටන් සිය රට ලෝක ක්‍රිකට් සිතියමේ ප්‍රබල ස්ථානයකට ගෙන ඒමට නායකයෙකු මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසද මහා ශක්තියක් විය. සරණාගත කඳවුරක සිට ක්‍රිකට් ක්‍රීඩාව අරඹා පසුව ලෝකයේ අංක එකේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා දක්වා ඉහළටම පැමිණි නබි, ජාත්‍යන්තර එක්දින තරග 176කදී ලකුණු 3,700කට අධික ප්‍රමාණයක් සහ කඩුලු 170කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළේය. ටෙස්ට් ක්‍රීඩාවෙන් 2019 වසරේදී විශ්‍රාම ගත් ඔහු, පසුව 2025 චැම්පියන්ස් කුසලානයෙන් පසු එක්දින පිටියෙන්ද, මෙවර නිමාවූ 2026 විස්සයි-20 ලෝක කුසලානයෙන් පසු විස්සයි-20 පිටියෙන්ද සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ලොව පුරා ඉහළම පෙළේ ලීග් තරගාවලි නියෝජනය කළ ප්‍රථම ඇෆ්ගන් ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක්වන මොහොමඩ් නබි, සිය අවසන් ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන මාර්තු 25 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඇෆ්ගන් ක්‍රිකට් ලෝලීන් අතර “ප්‍රසිඩන්ට්” (The President) යන විරුදාවලියෙන් පිදුම් ලබන ඔහුගේ මෙම සමුගැනීම ලෝක ක්‍රිකට් ප්‍රජාවටම පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button