බංගලාදේශ ක්‍රිකට් අර්බුදයේ නවතම තත්ත්වය මෙන්න !

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතුවක්කාරී තීරණ හේතුවෙන් එරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට හා විකාර සහගත තත්ත්වයකට පත්ව ඇති බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති. මෙම අර්බුදය උච්චතම අවස්ථාවට පත්වූයේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් බංගලාදේශය නිල වශයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගැනීමත් සමඟයි.
සිද්ධියට මුල් වී ඇත්තේ බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු වන එම්. නස්මුල් ඉස්ලාම් විසින් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයකි. ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ යුතු බවට හිටපු නායක තමීම් ඉක්බාල් කළ යෝජනාව විවේචනය කළ නස්මුල්, තමීම්ව “ඉන්දීය නියෝජිතයෙකු” ලෙස ප්‍රසිද්ධියේ හංවඩු ගැසුවේය. එපමණක් නොව, කණ්ඩායම දක්ෂතා නොදක්වන විට ක්‍රීඩකයින්ගෙන් මුදල් ආපසු අයකර ගත යුතු බවටත්, ඔවුන් කිසිදු වන්දියකට සුදුසු නැති බවටත් ඔහු කළ අපහාසාත්මක ප්‍රකාශ ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධයට ලක්විය.
මෙම ප්‍රකාශයත් සමඟ නජ්මුල් හුසේන් ශැන්ටෝ සහ මෙහිඩි හසන් මිරාස් ඇතුළු ප්රමුඛ ක්‍රීඩකයින් බංගලාදේශ ප්‍රිමියර් ලීගය (BPL) වර්ජනය කිරීමට තීරණය කළහ. විකාශන ආදායම සහ තරගාවලිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී නස්මුල් ඉස්ලාම්ව මූල්‍ය ප්‍රධානී තනතුරෙන් ඉවත් කර ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළේය.
කෙසේ වෙතත්, බංගලාදේශය ඉන්දියාවට ගොස් තරග කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ICC ආයතනය ලෝක කුසලානය සඳහා බංගලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට පියවර ගත්තේය. මෙම දරුණු පසුබෑමෙන් පැය කිහිපයකට පසුව, පාලක මණ්ඩලය විසින් නස්මුල් ඉස්ලාම් ඉදිරිපත් කළ නිදහසට කරුණු සතුටුදායක බව පවසමින් ඔහුව නැවතත් මූල්‍ය කමිටු ප්‍රධානියා ලෙස පත් කර තිබේ. පාලක මණ්ඩලයේ මෙම මවිත කරවන සුලු තීරණය එරට ක්‍රීඩකයින් පාවා දීමක් ලෙස මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
