T 20 ලෝක කුසලානයට සූදානම් මදි ද! ප්‍රබල කණ්ඩායමකට අමිහිරි පරාජයක්!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 90ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තානයට හැකියාව ලැබුණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. එහිදී පාකිස්තාන ඉනිම ශක්තිමත් කළ නායක සල්මන් අග්හා ලකුණු 76ක් සහ උස්මන් ඛාන් ලකුණු 53ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඔවුන්ගේ ඉනිම පන්දුවාර 15.4කදී ලකුණු 108කට සීමා විය. ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් ලකුණු 35ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී අබ්රාර් අහමඩ් සහ ශබ්දාබ් ඛාන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
