Cricket News

ලෝක කුසලානයට පෙර ලංකා පිලට මරු පහරක්: වේග පන්දු යවන තරුවක් රෝහලට!

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් වුවද, ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ප්‍රබලතම සාමාජිකයෙකු වන එෂාන් මාලිංගට එම තරගාවලිය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. ඊයේ (01) පල්ලේකැලේදී සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි-20 තරගය අතරතුරදී එෂාන් දරුණු උරහිසේ ආබාධයකට (Shoulder Dislocation) ලක්වීම මීට හේතුවයි.

එංගලන්ත ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී සිය පළමු පන්දුව යොමු කිරීමෙන් අනතුරුව, උරහිසේ හටගත් දැඩි වේදනාවක් හේතුවෙන් මාලිංග පිටියෙන් ඉවත්ව ගියේ දැඩි අපහසුවෙනි. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් මහතා තහවුරු කළේ, ඔහුව වහාම රෝහල්ගත කර එක්ස්-රේ (X-ray) පරීක්ෂණයකට භාජනය කළ බවයි.

අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආබාධය සුව වීමට සති 4 සිට 6 දක්වා කාලයක් ගතවනු ඇති බවයි. ලෝක කුසලානය පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබියදී එෂාන් හට මෙම ආබාධය වැළඳීම ශ්‍රී ලංකා තේරීම් කමිටුවට දැඩි ගැටලුවක් මතුකර ඇත. එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් හෝ බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවීමේ වැඩි ඉඩක් පවතින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button