Cricket News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයෙන් කළ ඉල්ලීම

2026 අයි.සී.සී. (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයට සහභාගී නොවන බවට පළවන වාර්තා පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

පකිස්ථානය සමස්ත තරගාවලියට සහභාගී වුවද, ලබන පෙබරවාරි 15 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දු-පකිස්ථාන තරගයෙන් පමණක් ඉවත් වීමට තීරණය කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත පදනම්ව මෙම ඉල්ලීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාව සත්කාරක රටක් ලෙස මෙම තරගය සඳහා සියලු මෙහෙයුම්, ආරක්ෂක සහ ප්‍රවේශ පත්‍ර අලෙවි කටයුතු දැනටමත් අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම තරගයට අදාළ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන්ව ඇති අතර, ඉහළ වාණිජමය අපේක්ෂාවක් ද පවතී. පකිස්ථානය මෙම තරගයෙන් ඉවත් වුවහොත් එමගින් විශාල මූල්‍ය අලාභයක් මෙන්ම සංචාරක ආදායම අහිමි වීම හරහා පුළුල් ආර්ථික පසුබෑමක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකාව අනතුරු අඟවා සිටියි.

මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ පදනම් කරගත් හෝටල් රැසක වෙන්කරවා ගැනීම් මේ වන විටත් අවලංගු වෙමින් පවතින අතර, එය සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

වෙනත් රටවල් පකිස්ථානයේ සංචාරය කිරීමට පසුබට වූ අභියෝගාත්මක අවස්ථාවන්හිදී පවා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාශීලීත්වය පෙරදැරි කරගෙන පකිස්ථානයේ සංචාරය කළ බව සිහිපත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එම සහයෝගීතාවයේ ජීවගුණය පකිස්ථානය ද ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කරයි.

තරගාවලියේ ආරක්ෂාව සහ මධ්‍යස්ථභාවය පිළිබඳ පූර්ණ සහතිකය ලබා දෙන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් සිය තීරණය නැවත සලකා බලා තරගයට සහභාගී වන ලෙස පකිස්ථානයෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button