වසර 14ක ලෝක කුසලාන පිපාසයට අදින් නිමාව: ක්‍රිකට් වසන්තය ශ්‍රී ලංකාවට ගොඩබසී!

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වසර 14ක් පුරා මග බලා සිටි ඒ අසිරිමත් මොහොත අද (07) උදා වේ. 2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සජීවී අත්දැකීමක් නොමිලේම! තරගාවලිය ආරම්භ කරමින් අද පෙරවරු 11.00ට කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේදී පාකිස්ථානය සහ නෙදර්ලන්තය තරග වදියි. මෙම සමාරම්භක තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුවිශේෂී තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගණයට පැමිණෙන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට නොමිලේ තරගය නැරඹීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තීරණාත්මක සටන් මෙවර තරගාවලියේ තරග 20ක් කොළඹ ආර්. ප්‍රේමදාස, SSC සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට අමතරව ප්‍රබල ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම්වල මූලික වටයේ සියලු තරග මෙරටදී පැවැත්වීම ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.
සංචිතයේ හදිසි වෙනසක් තරගාවලිය ආරම්භ වීමට මොහොතකට පෙර ශ්‍රී ලංකා සංචිතයේ තීරණාත්මක වෙනසක් සිදුව තිබේ. ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට අත්දැකීම් බහුල ප්‍රමෝද් මදුෂාන් සංචිතයට එක් කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
ප්‍රවේශපත්‍ර ලබාගැනීමට අවසන් අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ක්‍රීඩාංගණ ප්‍රවේශපත්‍ර කවුළු මගින්ද තවමත් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවස්ථාව පවතින අතර, සාධාරණ බෙදාහැරීමක් උදෙසා එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ ප්‍රවේශපත්‍ර 04ක් පමණි.
අද පස්වරුවේ ඉන්දියාවේදීද තවත් දැවැන්ත තරග දෙකක් පැවැත්වීමට නියමිතය. එහිදී කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිවත්, මුම්බායිහිදී සත්කාරක ඉන්දියාව ඇමරිකානු කණ්ඩායමට එරෙහිවත් තරග වදිනු ඇත.
