Cricket News
සංචිතයේ ප්‍රශ්න අස්සේ කමිඳු මෙන්ඩිස් නිහඬවම කරපු දේ හෙළිවෙයි!පීඩනය අස්සේ කමිඳු කිව්ව කතාව මෙන්න.

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 19කින් ලකුණු 44ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කරදුන් කමිඳු මෙන්ඩිස්, තරගයෙන් පසුව සිය අනාගතය සහ කණ්ඩායමේ තේරීම් පිළිබඳව සුවිශේෂී අදහස් කිහිපයක් පළ කළා. මෑතකදී ශ්‍රී ලංකා සංචිතයේ සිදුවූ වෙනස්කම් සහ ධනංජය ද සිල්වා ඉවත් කර තමන්ව සංචිතයට එක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්ෂේත්රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් කමිඳු කියා සිටියේ තමන් කණ්ඩායමට තේරීම හෝ නොතේරීම පිළිබඳව අනවශ්‍ය ලෙස කල්පනා නොකරන බවයි. “මම රට නියෝජනය කරපු මුල් කාලෙත් මට ඒ වගේ අවස්ථා හම්බවුණා. ඉතින් මම ඒ අත්දැකීම් භාවිත කරනවා. මොකද අපි කණ්ඩායමට තේරෙන එක හෝ නොතේරෙන එක තීරණය කරන එක මගේ ජොබ් එක නෙමෙයි. මට පුළුවන් විදිහට උපරිමයෙන් රට වෙනුවෙන් සෙල්ලම් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව,” යනුවෙන් ඔහු පැවසුවා. තවදුරටත් අදහස් දැක්වූ කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ තමාගේ පාලනයෙන් බැහැර දේවල් ගැන කරදර වෙනවාට වඩා, තමන්ගේ කණ්ඩායම සහ තමන්ට පැවරෙන වගකීම පිළිබඳව අවධානය යොමු කිරීම සාර්ථකත්වයට හේතුව වූ බවයි. “මම හිතනවා මගේ පාලනය යටතේ නැති දේවල් ගැන හිතලා Worry වෙනවට වඩා, මගේ ටීම් එක ගැන Focus කරන එක මම මේ දවස් ටිකේම කරා. ඒ නිසා ටීම් එකට අවශ්‍ය වුණු වෙලාවේ මට පුළුවන් උපරිමය මම කරා.” අයර්ලන්තයට එරෙහිව කමිඳු පෑ මෙම දක්ෂතාවය හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද පිදුම් ලැබූ අතර, ඉදිරි තරගවලදීද ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කිරීමට ඔහුගෙන් විශාල සේවයක් බලාපොරොත්තු විය හැකි බව විචාරකයින් පවසනවා.
