ඕස්ටේලියාවේ දැවැන්ත චරිතයක් ක්‍රිකට් වලට සමුදෙයි.

වසර 16ක අතිවිශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට සමුදෙමින් ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩිකා ඇලිසා හීලි අද හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළේ මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කරමිනි. ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණු ගෞරව උත්තමාචාර මධ්‍යයේ පිටියට පිවිසි ඇය, සිය අවසන් ඉනිම බව අමතක කරමින් පන්දු 98ක් තුළ පමණක් හතරේ පහර 27ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 158ක අති දැවැන්ත ඉනිමක් දියත් කළාය. ලෝක කුසලාන 8ක ජයග්‍රාහී මතකයන් රැගත් ඇය, සිය සමුගැනීමේ තරගයේදීත් 100කට අධික ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් තමන් තවමත් ලොව අංක එකේ පිතිකාරිනියක බව සනාථ කළාය.
2010 වසරේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවරියක වූ හීලි, විශේෂයෙන්ම 2022 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී රැස් කළ ලකුණු 170ක වාර්තාව ද සමගින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක් සනිටුහන් කර තිබේ. කඩුලු රකින්නියක ලෙස දවා ගැනීම් 250කට අධික ප්‍රමාණයකට දායක වී ඇති ඇය, මෙග් ලැනින්ගෙන් පසු ඕස්ට්‍රේලියානු නායකත්වය ද දක්ෂ ලෙස මෙහෙයවූවාය. සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේ බිරිඳ වන හීලිගේ මෙම සමුගැනීමේ මොහොත නැරඹීමට ඇයගේ පවුලේ පිරිස ද ක්‍රීඩාංගණයට පැමිණ සිටීම විශේෂත්වයකි.
වයස අවුරුදු 35ක් වන ඇය මෙම හදිසි සමුගැනීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ පවතින ආබාධ තත්ත්වයන් සහ මානසිකව ඇති වී තිබෙන විඩාවයි. “මගේ තරගකාරීත්වය දැන් අඩුවෙලා, ශාරීරිකවත් මානසිකවත් මම දැන් සෑහෙන්න වෙහෙසට පත්වෙලා ඉන්නේ” යනුවෙන් ඇය හැඟුම්බරව පවසා සිටියාය. අද දින ඇය එක්දින පිටියෙන් නික්ම ගියද, ලබන මාර්තු 6 වැනිදා ඉන්දියාවට එරෙහිව පර්ත්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගය ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසාන නිල තරගය වනු ඇත.
