Cricket News

තරඟය පැරදුනත්, දසුන් ශානකගෙන් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය. වර්ෂාව හේතුවෙන් වරින් වර බාධා එල්ල වූ මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවිය.

අයහපත් කාලගුණය හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 133ක් රැස් කළේය. එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ආදීල් රෂීඩ් ලකුණු 19කට කඩුලු 06ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළ අතර, වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන් අගනා කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) වාර්තා කිරීමට සමත් විය.

මෙහිදී දසුන් ශානක, සෑම් කරන්ගේ කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර බවට පත්වෙමින් ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම වාර ගණනක් කඩුලු ත්‍රිත්වයන්ට හසු වූ පිතිකරු ලෙස අවාසනාවන්ත වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කරගත්තේය.

ලකුණු 134ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 125ක් ලබා සිටියදී තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වන විට ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 12කදී අවශ්‍යව තිබුණේ ලකුණු 09ක් පමණි. පසුව තරගය නතර කරන විට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තය ජයග්‍රාහී සීමාවට වඩා ලකුණු 11ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් විනිසුරුවන් ඔවුන් ජයග්‍රාහකයින් ලෙස ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button