පාකිස්ථානයට මිරාස් දුන් තෑග්ග

ක්‍රිකට් ක්‍රීඩාව යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ලොව පුරා ප්‍රචලිත වුවද, බංගලිදේශ ක්‍රීඩකයින් වරින් වර සිදුකරන ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් එම ගෞරවය කෙළෙසෙමින් පවතින බවට යළිත් සාක්ෂි ලැබී තිබේ. බංගලිදේශ-පාකිස්ථාන දෙවන එක්දින තරගය අතරතුර පිටිය මැද සිදු වූ සිදුවීමක් මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම දැඩි කතාබහට සහ පිළිකුලට ලක්වෙමින් පවතී.
තරගය ඉතා උණුසුම් මුහුණුවරකින් ගලා යමින් තිබියදී, කඩුල්ල අසලදී පන්දුවට පහර දෙමින් සිටි සල්මාන් අලී ආගා සහ පන්දු රකිමින් සිටි මෙහෙදි හසන් මිරාස් අතර අත්වැරදීමකින් ගැටීමක් සිදු විය. මෙම ගැටීම හේතුවෙන් සල්මාන් අලීට නියමිත වේලාවට සිය පිත්ත සීමා ඉර තුළ (Crease) තැබීමට නොහැකි විය. ක්‍රීඩාවේ පවතින සුහදශීලී බව පෙරදැරි කරගත් සල්මාන් අලී, තමා අසල තිබූ පන්දුව අහුලා ගෙන එය මිරාස් වෙත ලබා දීමට උත්සාහ කළේ ඉතාමත් අවිහිංසාවාදී අයුරිනි.
සල්මාන් අලී පන්දුව අතට දීමට උත්සාහ කළ මොහොතේම, කිසිදු පමාවකින් තොරව පන්දුව උදුරාගත් මිරාස්, සල්මාන් තවමත් සීමා ඉරෙන් පිටත සිටින බව දැක ඔහුව දවා ගැනීමට කටයුතු කළේය. නීති පොතේ හැටියට එය දැවී යාමක් ලෙස සටහන් වුවද, තමාට උදව් කිරීමට පන්දුව අහුලා දුන් ක්‍රීඩකයාට එරෙහිවම එවැනි උපක්‍රමයක් භාවිතා කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට එල්ල කළ මරු පහරක් වේ.
මෙම සිදුවීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත්තේ, ජයග්‍රහණය සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට බංගලිදේශ ක්‍රීඩකයින් පෙළඹී සිටින්නේද යන්නයි.
