බෙනට්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දීය බලාපොරොත්තු ඈතට යයි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. චෙන්නායිහිදී පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් ලකුණු 257ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නද,
සිම්බාබ්වේ පිලේ බ්‍රයන් බෙනට් දියත් කළ අසිරිමත් ඉනිම හේතුවෙන් ඉන්දියාව අපේක්ෂා කළ පරිදි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. බෙනට් පන්දු 59ක් තුළ හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 97ක ඉනිම නිසා සිම්බාබ්වේ පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට හැකි විය.
මෙම ලකුණු සංඛ්‍යාව හේතුවෙන් ඉන්දියාව ජයග්‍රහණය කළත්, ශුද්ධ ලකුණු වේගය මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අභිබවා පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණීමට ඔවුන්ට තිබූ අවස්ථාව අහිමි විය.
මෙම ප්‍රතිඵලයත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම නිල වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, දැන් කාගේත් අවධානය යොමුව ඇත්තේ එළැඹෙන ඉරිදා පැවැත්වෙන ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තරගය දෙසටයි. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ඉතිරි අවස්ථාව හිමිවන බැවින් එය දැවැන්ත සටනක් වනු නොඅනුමානය
