වසර ගණනාවක වාර්තා අතුගා දමයි! ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලෝක කුසලාන සබඳතාව මෙන්න.

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් ඓතිහාසික අවස්ථාවකට ඊයේ (10) ඉන්දියාවේ චෙන්නායි ක්‍රීඩාංගණය සාක්ෂි දැරීය. ඒ නවසීලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර පැවති තරගයේදී පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලකුණු සබඳතාව පිහිටුවීමත් සමඟයි.
කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
කෙසේ වෙතත්, ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ටිම් සයිෆර්ට් සහ ෆින් ඇලන්, ප්‍රතිවාදී පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ලෝක වාර්තාගත ඉනිමක් දියත් කළහ. ඔවුන් දෙදෙනා පන්දුවාර 15යි පන්දු 2ක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 175ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
මෙහිදී ටිම් සයිෆර්ට් නොදැවී ලකුණු 89ක් රැස් කළ අතර, ෆින් ඇලන් නොදැවී ලකුණු 84ක් රැස් කරමින් සිය සබඳතාවය ශක්තිමත් කළේය. මෙය විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා පොත් අතරට එක් විය.
