Cricket GossipCricket NewsEXCLUSIVE

ජීවත් වෙන්න ගෙයින් ගෙට ගොස් හඳුන්කූරු විකුණන ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් නායකයා

වසර 22කට අධික කාලයක් මෙරට නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් රටට කීර්තියක් අත්කර දුන් තරුණ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයා අද වන විට ජීවිත්වීමට නිවෙසින් නිවෙසට ගොස් හඳුන්කූරු විකුණමින් මුදලක් සොයාගන්නට දරන උත්සාහය නාගොඩ, උනන්විටිය ප්‍රදේශයේදී අපට දැක ගැනීමට හැකි විය.

ඔහු 1998 සිට 2012 දක්වා දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර වසර ගණනාවක් එහි නායකත්වය දැරූ චන්දන සූරිආරච්චි (38) නමැති අයෙකි.

උපතින්ම දෘශ්‍යාබාධිතව උපත ලද චන්දන මූලික අධ්‍යාපනය ලැබුවේ උනන්විටිය රේවත විද්‍යාලයෙනි. එහි අධ්‍යාපනය ලබමින් සිටියදී දෘශ්‍යාබාධිත තත්ත්වය දිනෙන් දින වැඩිවීම නිසා ඔහුට රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් වන්නට සිදු විය. අන්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියද චන්දන පුරුදු ලෙසින්ම ක්‍රීඩා ප්‍රගුණ කරමින් තම ඉගෙනීමේ කටයුතු ද දක්ෂ ලෙස කරගෙන ගියේය. චන්දන කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ විය.

අන්ධ විද්‍යාලයේදී ද ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කරගත් චන්දනට ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ ඔහු දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගැනීමෙනි. එහිදී දක්ෂතා පෙන්වූ චන්දන ඉතා කෙටි කලකදී එහි නායකත්වය හොබවන්නට සමත් විය. ඒ අනුව 1998 සිට අවුරුදු 17ක ළාබාල මේ තරුණයා දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දක්ෂතා පෙන්නුම් කරන්නට තරම් වාසනාවන්ත විය.

වසර 22ක ක්‍රීඩා දිවිය නිමා කළ ඔහු 2012දී කණ්ඩායමේ නායකත්වයට තවත් අයකුට අවස්ථාව දෙමින් දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සමු ගන්නට විය. එතෙක් මෙතෙක් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් ඇගැයීම් සහතික 400ක්, කුසලාන සහ පදක්කම් බොහෝමයක් ලැබිණි.

“මේක තමයි මගේ ජීවිතයේ වැදගත්ම දේ. මම කණ්ඩායමෙන් සමු ගන්නා බව ඉන්දියාවේදී පවසද්දී ඔහුන් මට මේ රන් සිහිවටනය දුන්නා. මට එය ගොඩාක් වටිනවා.” මෙලෙස ප්‍රකාශ කළ චන්දන තමා ලැබූ ජයග්‍රහණ දෙස බලා සුසුම් හෙලුවේය.

අවිවාහක චන්දන තම අසනීප සහෝදරයා සමඟ හිතවතෙක් සාදා දුන් නිවෙසක කල්ගත කරයි. චන්දන ජීවිතය ජීවත් කරවන්නට හඳුන්කූරු ගන්නට මුදල් නැති තැන තමාගේ ස්මාර්ට් දුරකතනය මොරටුවේ උකස් ගන්නා ස්ථානයක තබා රුපියල් 15,000කින් ගත් හඳුන්කූරු සුළු ලාභයක් තබා ගනිමින් අලෙවි කරයි.

උදෑසනින්ම ගෙයින් ගෙට ගොස් හඳුන්කූරු විකිණීම සිදු කරන මෙලෙස තම හඬ අවදි කළේය.

“මේ වෙනකොට මගේ ඇහේ ආබාධය දවසින් දවස වැඩි වෙනවා. අව්වේ සැර ඇහැට හොඳම නෑ. ඇහැ ඇතුළ පැළෙන්න පුළුවන්. එහෙම වුණොත් හරිම වේදනාවක්. දැනට කරාපිටිය ඉස්පිරිතාලෙ අක්ෂි සායනයෙන් ප්‍රතිකාර ගන්නවා. දොස්තරලා කියන්නේ ඇස්වලට දූවිලි යන්න නොදී රැකගන්න කියලා. හැම මාසෙම අක්ෂි සායනයට ගිහින් ප්‍රතිකාර ගන්නවා. පේන්නේ නැති ඇහැට ශල්‍යකර්මයක් කළොත් යාන්තම් පෙනීම ලැබී අනිත් ඇහෙත් පෙනීම නැතිවෙයි කියන හින්දා ශල්‍යකර්මයක් කරන්න බයයි. කාගෙන්වත් අපට උදව් ලැබෙන්නේ නෑ. ආබාධිත දීමනාව, අස්වැසුම වගේ රජයෙන් දෙන කිසිම දෙයක් අපට ලැබෙන්නේ නෑ. සමෘද්ධියෙන් රුපියල් 1500ක් ලැබෙනවා. ඒකෙන් පොඩි සහනයක් තියෙනවා. මම ඉල්ලන්නේ මගේ මේ රෝගි තත්ත්වය නිසා ව්‍යාපාරයක් කරගෙන යන්න උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට පිහිට වෙන්න” හෙතෙම ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button