Cricket NewsDomestic CricketEXCLUSIVE

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දේශීය එක්දින තරගාවලිය අනිවාර්යය කරයි!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සුපිරි 8 වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට මේ දිනවල පැවැත්වෙන දේශීය අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම අනිවාර්ය වේ.

වෛද්‍යවරයකුගේ සහතිකයකින් සනාථ කළ හැකි ආබාධයක් ඇති ක්‍රීඩකයකු හැර අනෙක් සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියට මේ සතියේ සිට ක්‍රීඩා කළ යුතු බවට පෞද්ගලිකවම දැනුම්දී ඇත.

අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග හෙට (22) පැවැත්වෙන අතර, එදින සිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් තම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ යුතුවේ.

ඒ අනුව සීසීසී පිලට වනිඳු හසරංග, නුවන් තුෂාර, එස්එස්සී පිලට දසුන් ශානක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ඇන්ජලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම, ඩිල්ෂාන් මධුසංඛ, දුනිත් වෙල්ලාලගේ, විජේකාන්ත් වියෙස්කාන්ත්, ටැමිල් යූනියන් පිලට ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, එන්සීසී පිලට පැතුම් නිශ්ශංක, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ හා බීආර්සී පිලට භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අනිවාර්යවී තිබේ.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන්ට දීර්ඝ විවේකයක් හිමි නොවේ. ලබන මාසයේදී ආරම්භ වන එල්පීඑල් තරගාවලියට හා විශේෂයෙන්ම ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනට හා විස්සයි20 තරග තුනට සූදානම්වීම වෙනුවෙන් දේශීය අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වැදගත් බව දැනුම්දී තිබේ.

එල්පීඑල් තරගාවලිය ලබන 1 දා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරග ලබන මස 27 වැනිදා සිට ආරම්භ වේ.

කෙසේ වුවද මේ මස 24 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලට කලින් ලියාපදිංචි වූ ක්‍රීඩකයන්ට පමණක් ක්‍රීඩා කිරීමේ අවස්ථා හිමිව ඇත. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන හෙයින් ඇතැම් ක්‍රීඩා සමාජ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ලියාපදිංචි කොට තිබූ නැති හෙයින් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මේජර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ක්‍රිකට් විධායක සභාවට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

“මේජර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ නීතීරීති අනුව ලියාපදිංචි නොවූ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකියාවක් නෑ. නමුත් ක්‍රිකට් විධායක කමිටුවේ සාකච්ඡා කොට එම මුල් පෙළේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට අනුමැතියක් ගත හැකියි. අපට අවශ්‍ය ක්‍රිකට් තරගාවලිය උසස් ලෙස පවත්වාගෙන යන්නයි” දොඩන්වෙල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ 24 වැනිදා ආරම්භවන අතර, අවසන් මහා තරගය මේ 28 වැනිදා පී. සරා ඕවල් පිටියේදී පැවැත්වේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button