Cricket NewsDomestic CricketEXCLUSIVE

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ට එරෙහි එක්දින තරගාවලි‍ය 3-2කින් ජය ගනී

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති අවසන් නිලනොවන එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ඊයේ සමත් විය.

කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග 3 ජය ගනිමින් තරගාවලි ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඇෆ්ගන් පිල අවසන් තරග දෙක ජය ගනිමින් 3-2ක් ලෙස තරගාවලිය නිමා කළේය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 43කදී ලකුණු 197කට දැවී ගිය අතර, එම ඉලක්කය හඹා ගිය ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඕවර 45කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් අහිමිව තිබියදීය.

ශතක 2ක් වාර්තා කරමින් තරගාවලියේ සාර්ථකම පිතිකරු වූ ඇෆ්ගන් ආරම්භක පිතිකරු රියාස් හසන් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළේය. මුල් කඩුලු 2ක ලකුණු 5කට බිඳ වැටීමෙන් පසු දාර්විස් රසෝලි (36) සමඟ ලකුණු 68ක් සහ මේ තරගයේදී කණ්ඩායම මෙහෙයවූ ෂහිදුල්ලා (47) කමල් සමඟ එක්ව ලකුණු 85ක සබඳතා පිහිටුවීමට රියාස් සමත් විය. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් සහ දුෂාන් හේමන්ත කඩුලු 2ක් බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 55ක් තුළ දැවී ගිය අතර, පසිඳූ සූරියබණ්ඩාර සෙසු පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ගොඩනැඟීය. නිපුන් කරුණානායක සමඟ එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 50ක් එක් කළ පසිඳු 6 වැනි කඩුල්ලට සොනාල් දිනූෂ සමඟින් ලකුණු 49ක් එක් කළේය.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ පසිඳු පන්දු 92කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 70ක් රැස් කළ අතර, ඔහු 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 176ක් විය.

පන්දු යැවීමේදී නවීඩ් සද්‍රාන් කඩුලු 4ක් සහ නන්ගෙයලියා කරෝටි කඩුලු 3ක් බිඳ දැමූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගය මේ 11 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button