Cricket NewsDomestic CricketEXCLUSIVE

තරගයකදී ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක් දීමට තීරණය කරයි.

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී ලකුණු 200ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 2ක බෝනස් මුදලක් පිරිනැමීමට එස්එස්සී ක්‍රීඩා සමාජය තීරණය කරයි. ලකුණු 100ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් 35,000ක බෝනස් මුදලක් ලබා දුන්න ද දිගු ඉනිම් ක්‍රීඩා කිරීම සඳහා පෙලඹවීම් ඇති කිරීමේ අරමුණින් ලකුණු 200 ලබා ගැනීමේදී බෝනස් මුදල 6 ගුණයකට ආසන්නව වැඩි කළ බව එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය. එමෙන්ම විකට් 10ක් ගත් පන්දු යවන්නකුට රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ලබාදෙන බව ද දොඩන්වෙල මහතා පැවසීය. වැදගත්ම තරගයකදී හොඳ සම්බන්ධතාවක් ගොඩනඟන ක්‍රීඩකයන්ට බෝනස් මුදල් පිරිනමන බව ද ඒ මහතා සඳහන් කළේය.

එස්එස්සී පිල මෙවර ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ තෙදින තරගාවලියේ සම ශූරතාව දිනාගත් අතර, එහි එක්දින තරගාවලියේ ශූරතාවට හිමිකම් කීය. සිංහල ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජවලින් එකකි.

එම ක්‍රීඩා සමාජය මේ වසරේ මාර්තු මස 28 වැනි දිනට 125 වැනි සංවත්සරය සමරනු ලැබීම විශේෂත්වයකි. එම ගතවූ වසර 125ක කාලය තුළදී එස්එස්සී පිල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් දායාද කර ඇත. අක්බාර් බ්‍රදර්ස් ප්‍රධාන අනුග්‍රහයෙන් පවත්වාගෙන යන සිංහල ක්‍රීඩා සමාජය ප්‍රධානතම ක්‍රිකට් ශූරතාවලි වැඩිම ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් විය.

“අපේ ක්‍රීඩා සමාජය සෑම අවස්ථාවකම අනෙක් ක්‍රීඩා සමාජවලට ආදර්ශයක් ලබා දෙනවා. ක්‍රීඩකයන් බඳවා ගැනීමේ සිට ඔවුන් නඩත්තු කිරීම දක්වා අපි යම් විනයක් ඇතිව කටයුතු කරනවා. විශේෂයෙන්ම දුර පළාත්වල සිට එස්එස්සී පිලට සම්බන්ධ වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට සියලු දේ සහිතව නේවාසික පහසුකම් ලබා දෙනවා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමේ තියෙන්නේ. අපේ කාලයේ ක්‍රීඩා කරද්දී මුදල් ලැබුණේ නෑ. එස්එස්සී ක්‍රීඩකයන්ට ඕනෑම වේලාවක පුහුණුවීම් කටයුතු කරන්න පහසුකම් තියෙනවා. ක්‍රීඩකයා පුහුණු වීමට සූදානම් වන ඕනෑම වේලාවක පුහුණු කාර්ය මණ්ඩලය පැමිණිය යුතුයි. සමන් ජයන්ත මහතා පුහුණුකරු ලෙසත්, විමුක්ති දේශප්‍රිය මහතා සහාය පුහුණුකරු ලෙසත්, ෆර්නාස් මහතා අභ්‍යාසක ලෙසත් කටයුතු කරනවා” යැයි එස්එස්සී ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

“අපේ අරමුණ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිෂ්පාදනය කර දීමයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාව වගේම සමාජ සාරධර්ම අප කියා දෙනවා. කොහොමද මාධ්‍යයට කතා කරන්නේ. කෑම මේසයේ පිළිවෙළකට කෑම ගන්නා විදිහේ සිට මහජන සබඳතා පවත්වා ගෙන යෑම වැනි කරුණු සම්බන්ධයෙන් විශාරදයන් ගෙන්වා දේශන පවත්වනවා. ඒ වගේම රැකියා නැති ක්‍රීඩකයන්ට රැකියා සොයාදීමත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමත් අපේ ක්‍රීඩා පරිපාලනයේ එක් කොටසක්. එස්එස්සී ක්‍රිකට් ඇකඩමිය අවුරුදු 9 සිට 19 දක්වා ක්‍රියාත්මකයි. ආර්ථික අමාරුකම් තියෙන දක්ෂ දරුවන්ට එස්එස්සී ක්‍රිකට් ඇකඩමියේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගැනීම අපේ එකම අපේක්ෂාවයි” දොඩන්වෙල මහතා පැවසීය.

එස්එස්සී ක්‍රීඩා සමාජයේ 125 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩ සටහන් රාශියක් සංවිධාන කරන බවද ඒ මහතා පැවසීය.

උ.ගැ – දිනමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
2
+1
5
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button