දසුන් ශානක තුන් ඉරියව් දක්ශතා හේතුවෙන් නුවර පලමු තරගය ජය ගනී
පන්දුවෙන් හා පිත්තෙන් එක ලෙස දස්කම් පෑ කැන්ඩි ෆැල්කන්ස් පිලේ දසුන් ශානක ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එල්පීඑල් තරගාවලියේ පළමු තරගයෙන් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහිව කඩුලු 6ක ජයක් සිය කණ්ඩායමට අත්කර දීමට සමත් විය. කාසියේ වාසිය දිනූ කාසියේ වාසිය දිනූ කැන්ඩි පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල ඕවර 20 අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි පිල ජයග්‍රහණය සපුරා ගත්තේ ඕවර 17කුත්, පන්දු 2කදීය.
දඹුල්ල සික්සර්ස් පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් කඩුලු 3ක් දවාලූ දසුන් විස්මිත පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 46ක් රැස්
කළේ පන්දු 15කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ අතර, තරගයේ වීරයා සම්මානය ද හිමි විය.
ඉලක්කය හඹා යෑමට කැන්ඩි ඉනිම ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 27ක් ලබාගත්තේය. දසුන් සමඟ එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 72ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැඟූ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 37කි. පන්දු 20ක් වැය වූ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහරක් එක් විය
පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිලේ මුල්පෙළ කඩුලු 4ක්ම ලකුණු 25ක් ඇතුළත බිඳ වැටුණු අතර, ඉනිම පිළිසකර කළ නවසීලන්ත ජාතික මාක් චැප්මන් සහ චමිඳු වික්‍රමසිංහ පස්වැනි කඩුල්ලට ලකුණු 154ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. එය වාර්තාපොතට එක්වූයේ එල්පීඑල් තරග ඉතිහාසයේ වැඩිම නොබිඳුණු ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඊට පෙර 2020 එල්පීඑල් තරගාවලියේදි එවකට ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු සහ සොයිබ් මලික් පිළිවෙළින් නොදැවී ලකුණු 92ක් සහ 27ක් රැස් කරමින් තුන්වැනි කඩුල්ලට ලකුණු 110ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ.
එල්පීඑල් පිටියට කෝඩුකාරයන් වන මාක් චැප්මන් සහ චමිඳු වික්‍රමසිංහ දෙදෙනාම අනගි අර්ධ ශතකවලට හිමිකම් කී අතර කැන්ඩි පිලට සටනක් දිය හැකි ලකුණු පුවරුවක් ලබා දීමට ද සමත් වූහ. පන්දු 61කට මුහුණ දුන් චැප්මන් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 91ක් රැස් කළ අතර, ඔහුට කදිම සහයක් දුන් මහනුවර සාන්ත අන්තෝනි විදුහලෙන් බිහි වූ 21 හැවිරිදි චමිඳු පන්දු 42කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62කි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 3ක් දවාලීය.
එල්පීඑල් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3.00ට ගෝල් මාවලර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතරත්, තුන්වැනි තරගය අද රාත්‍රී 7.30ට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ට්‍රිකර්ස් පිල අතරත් පල්ලෙකැලේදිම පැවැත්වේ.
දඹුල්ල සික්සර්ස් – 179/4 (ඕවර 20) මාක් චැප්මන් නොදැවී 91, චමිඳු වික්‍රමසිංහ නොදැවී 62 (දසුන් ශානක 20/3)
කැන්ඩි ෆැල්කන්ස් – 183/4 (ඕවර 17.2) දිනේෂ් චන්දිමාල් 65, දසුන් ශානක නොදැවී 46, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී 37, කමිඳු මෙන්ඩිස් 27යි.