Cricket NewsEXCLUSIVELPLPremier League

ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව සිව්වැනි වරටත් රැගෙන යයි – කුසල් මෙන්ඩිස් ඉන්දියාව සමග තරගාවලියට සූදානම්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ‍ගාල්ල මාවල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මින් පෙර එල්.පී.එල්. කුසලාන 3 කට හිමිකම් කියා සිටි යාපනය කණ්ඩායම මෙවර ඊට හිමිකම් කීවේ සිවුවැනි වරටය.

ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 15.4 ක් අවසානයේ ඉලක්කය සපුරාගත්හ. ‍යාපනය ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවි ගියද, කුසල් මෙන්ඩිස් (නොදැවී 72) සමග එක්වූ රිලී රූසොව් (නොදැවී 106) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 185 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එල්.පී.එල්. ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාව ලෙසද ‍එම සම්බන්ධතාව වාර්තා අතරට එක් විය. පන්දු 53 කට මුහුණදුන් රූසොව් හයේ පහර 7 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය සැරසූ අතර එය මෙවර එල්.පී.එල්. තරගාවලියේ 6 වැනි ශතකය බවටද පත්විය. පන්දු 40 කදී වාර්තා වූ කුසල්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ යාපනය කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගාල්ල මාවල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය.‍ කණ්ඩායමට අවශ්‍යම වේලාවේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු අතරට පිවිසි භානුක රාජපක්ෂ, පන්දු 34 කින් ලකුණු 82 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී ටිම් ‍සෙයිෆට් (47) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 62 ක් එක් කරමින් ගාල්ල ඉනිමට නව ජවයක් එක් කිරීමට භානුක සමත් විය. ඉන් නොනැවතුණ ඔහු, සෙයිෆට්‍ගේ දැවී යෑමෙන් අනතුරුව සහන් ආරච්චිගේ (16) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 30 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ගාල්ල ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 37 කට මුහුණදුන් සෙයිෆට් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය. ඉන් හයේ පහර 3 ක්  විජයකාන්ත් වියස්කාන්ත‍්ගේ පන්දු 3 කට පිට පිටම එල්ල කළ හයේ පහර විය.

ගාල්ල ලකුණු පුවරුවට ලකුණු 13 ක් එක්වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජේසන් බෙරන්ඩෝෆ් සමත් විය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button