අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්රීඩක්යින් 19 ක් තෝරාගැනේ.
මෙම මස 24 සහ 25 යන දිනවලදී සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2025) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 19 දෙනෙක් ලියාපදිංචි වී සිටිති. ඔවුන් අතර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 17 දෙනෙකු මෙන්ම තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වෙති.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7 ක් පමණ) ලන්සුව යටතේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණය. ඔවුන් දෙදෙනා හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 75 දෙනෙක් පමණ එම ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටිති.
මහීෂ් තීක්ෂණ ඉකුත් වසරේදී (2023) සහ මෙම වසරේදී (2024) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර වනිඳු හසරංග ඉකුත් වසරේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටද, මෙම වසරේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටද ක්‍රීඩා කළේය. එහෙත් මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ඔවුන් දෙදෙනාවම කණ්ඩායම් වලින් මුදාහැරීමට එම කණ්ඩායම් කලමණාකාරීත්වයන් පියවර ගත්තේය.
වනිඳු සහ තීක්ෂණ හැරණුකොට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ වමත්මන් නායක චරිත් අසලංක, මෙන්ම හිටපු නායකයන් වන දසුන් ශානක, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්ද මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති. එහිදී ඔවුන් ලියාපදිංචි වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි 58 ලක්ෂයක් පමණ) ලන්සුවක් යටතේය.
විජයකාන්ත් වියස්කාන්ත්, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩසේ, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුෂංක, දුෂාන් හේමන්ත සහ ළහිරු කුමාර ඉන්දීය රුපියල් ලක්ෂ 75 ලන්සුව යටතේ වෙන්දේසියට ඉදිරිපත්වී සිටින සෙසු ශ්‍රී ලංකා ක්රීඩක්යෝ වෙති.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණය. එහිදී ඔවුන්ගේ මූලිකලන්සුව වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි තුන් ලක්ෂයක් පමණ වේ.
මෙවර වෙන්දේසිය සඳහා ලොව පුරා ක්‍රීඩකයන් 574 දෙනෙක් තෝරාගෙන තිබේ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයන් 366 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 208 ක් සිටිති. එහෙත් ඔවුන් අතරින් ජාත්‍යන්තර වරම් දිනා ඇත්තේ ක්‍රීඩකයන් 244 දෙනෙක් පමණි. සෙසු ක්‍රීඩකයන් 330 දෙනාම ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයෝ වෙති.
මෙවර වෙන්දේසියේදී කණ්ඩායම්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රීඩකයන් 204 දෙනෙක් තෝරාගැනීමට නියමිත අතර එහිදී විදෙස් ක්‍රීඩකයන් සඳහා ඇත්තේ ස්ථාන 70 ක් පමණි. එබැවින් ලියාපදිංචි වී සිටින සියලුම ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකරන අතර තෝරා ගැනීමකින් අනතුරුව ඔවුන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත.
මෙම වසරේ (2024) පැවැති අයි.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටත්, දුෂ්මන්ත චමීර කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමටත් ඇතුළත්ව සිටියහ. එහෙත් ඔවුන් අතරින් ලබන වසරේදීත් (2025) එම කණ්ඩායම්වලම රැදී සිටීමට අවස්ථාව උදා වූයේ මතීෂ පතිරණට පමණි.