Cricket NewsEXCLUSIVELegends Series

අසේල ගුණරත්නගේ පිතිහරඹයෙන් ප්‍රවීණයන්ගේ ලීගයේ ශූරතාව මනිපාල් පිලට

අසේල ගුණරත්නගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම මෙවර (2023) ප්‍රවීණයන්ගේ විස්සයි-20 ලීගයේ ශූරතාව දිනාගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය මනිපාල් ක්‍රීඩකයෝ, පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න පන්දු 29 කදී හයේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු රොබින් උතප්පා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර ඇන්ජලෝ පෙරේරා පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද, තිසර පෙරේරා පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් මනිපාල් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිකී ක්ලාර්ක් පන්දු 52 කින් ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

ගුරුකීට් සිං (64) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 122 ක දැවැන්ත සමබන්ධතාවක් ගොඩනැගීමටද රිකී ක්ලාර්ක් සමත් වූ අතර පන්දු 36 කදී වාර්තා වූ ගුරුකීට්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

පිත්තෙන් දැක්වූ දස්කම් හේතුවෙන් අසේල අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලිය පුරා ලකුණු 108 ක් රැස්කරමින් සහ කඩුලු 8 ක්ද බිඳහෙළමින් දැක්වූ දස්කම් හේතුවෙන් තිසර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button