Cricket GossipCricket NewsEXCLUSIVE

“ඒ කාලේ මැච් බලද්දි, මගේ කොල්ලෙක් අපේ කණ්ඩායමට සෙල්ලම් කරයි කියලා කීයටවත් හිතුවේ නෑ” – චරිත් අසලංකගේ මව, කේ.ඒ.තනූජා ඔහු ගැන කියන කතාව.!

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම පිතිකරුවා චරිත් අසලංක බව නොරහසක්. තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මුල් වකවානුව ගෙවා දමන අසලංක දිගින් දිගටම පෙන්නුම් කරන්නේ අනාගතයේදී ජාතික කණ්ඩායමේ බර ඉසිලිය හැකි පරිණත ක්‍රීඩා විලාශයක්.

අසලංක දිගින් දිගටම දැක්වූ දස්කම් අසලංක මත බොහෝ බලාපොරොත්තු තැබීය.එම බලාපොරොත්තු වලට අසලංක අගනා සාධාරණයක් පසුගිය කාලය පුරාවට සිදුකලේය. අසලංකගේ සාර්ථකත්වය ඔහු පුවත් මවන්නෙකු බවට පත් කලේය.

අසලංකගේ දයාබර මෑණියන් වන කේ.ඒ තනූජා මහත්මිය සමඟ පසුගිය දා ධරණී පුවත්පත අදහස් බෙදා ගෙන තිබුනා. ඉතින් මේ එම සටහනයි.

*අම්මට මේ මොහොතේ චරිත් අසලංක ගැන මොකද හිතෙන්නේ?

මගේ පුතා චරිත් ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා. එයා මේ වෙනකොට අපේ ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙලා ඉන්නේ. ඉතින් මගේ ක්‍රිකට් වීරයා දිහා බලාගෙන මං සතුටින් ඉන්නවා.

*චරිත් කියන්නේ පාසල් කාලේ එහෙම මොන වගේ දරුවෙක්ද?

චරිත්ට හොඳට ඉගෙනගන්න පුළුවන්. ඉස්කෝලේ කාලේ ගණන්වලට පුදුම දක්ෂයි. එයා මුලින් ඉස්කෝලේ ගියේ ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයට. ඊටපස්සේ ශිෂ්‍යත්වයට ලකුණු 176 ක් අරගෙන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ ඉස්කෝලෙදි තමයි එයා ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. අන්තිමේ ඒකම තමයි ජීවිතේ වුණේ.

*හැබැයි ක්‍රිකට් ගහන්න පටන්ගත්ත දවසේ ඉඳන් එයා ටිකක් දඟ වැඩ කළා කියලා ආරංචියි. ඇත්තද?

(සිනාසෙමින්) ඔව් ඔව් ක්‍රිකට් ගහන්න තිබුණු ආසාවටමද කොහෙද පොඩ්ඩක් දඟ වැඩත් කළා. මට මතකයි එකපාරක් පන්ති කට් කරලා පිට්ටනියේ ක්‍රිකට් ගහලා. ඒ සැරේ නම් ඉස්කෝලෙන් සැරටම අවවාද කරලත් තිබුණා. ඒ ඇරුණම චරිත් නිසා ඉස්කෝලෙට එන්න කියපු අවස්ථා එහෙම නම් ඇත්තටම නෑ.

*පොඩි කාලේ එයා කරපු දඟම වැඩේ අම්මට මතකයිද?

දවසක් එයා ගෙවල් ළඟ ළමයි කට්ටියක් එක්ක හවස ක්‍රිකට් ගහන්න යන්න ඇහුවා. හවස්වෙලා තිබුණු හින්දා මං එපා කියලත් කිව්වා. ඒ වෙලාවේ එයා මටත් පොඩි සද්දයක් දාලා ගියා. එදා මං ඔය කතාව චරිත්ගේ තාත්තට කිව්වා. එදා නම් එයාට හොඳ ගුටි ටිකක් වැදුනා. හැබැයි එදායින් පස්සේ එයා අපට මුකුත්ම කියාගෙන එන්නේ නෑ.

*අම්මලා සාමාන්‍යයෙන් පුංචි කාලේ දරුවන්ගේ හඳහන එහෙම බලනවනේ. චරිත්ගෙත් බැලුවද?

ඔව්. ඒ බලපු වෙලාවක කිව්වා අවුරුදු 19ක් වෙනකොට හැමදේම පුතාට අංගසම්පූර්ණව ලැබෙනවා කියලා. ආයෙත් හඳහන බලන්න උවමනා නෑ කියලත් කිව්වා. ඒත් අදටත් විටින් විට අපි එයාගේ හඳහන බලනවා.

*චරිත් ජාතික කණ්ඩායමට තේරෙයි කියලා අම්මා නිකමට හරි හිතලා තිබුණද?

මුලින් නම් එහෙම හිතුවේ නෑ. ඒත් පස්සේ කාලේ චරිත් ජාතික කණ්ඩායමට තේරෙනවා නම් කොච්චර එකක්ද කියලා හිතුණා. එයාගේ දක්ෂතා දැකපු අයත් ඒ අදහසේ හිටියේ. අන්තිමේ එයාට ඒ අවස්ථාව ලැබුණා.

*එයා ජාතික කණ්ඩායමට තේරුණා කියන ආරංචිය ලැබුණු දවස අම්මට මතකයිද?

(සිනාසෙමින්) අම්මෝ ඒ තමයි මගේ ජීවිතේ සතුටුම දවස. පුතා අපට ඒ කතාව කියද්දි මට සතුටට ඇඬුනා. පුතා ජාතික කණ්ඩායමට තේරුණු ආරංචිය ලැබුණු ගමන් රිච්මන්ඩ් එකේ නියෝජ්‍ය විදුහල්පතිතුමා කතා කරලා මට කිව්වා මේ වගේ දරුවෙක් අපේ ඉස්කෝලෙට දීපු එකට අම්මට ගොඩක් පින් කියලා.

*අද වෙනකොට චරිත් ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. මොකද ඒ ගැන හිතෙන්නේ?

අනේ ඒ ගැන නම් පුදුම සතුටක් තියෙන්නේ. ඉස්සර චරිත් ක්‍රීඩා කරන තැන ක්‍රීඩා කළේ සංගක්කාර, මහේල වගේ අය. ඉතින් ඒ වගේ විශිෂ්ට පිතිකරුවන්ගේ තැන අද මගේ පුතා ක්‍රීඩා කරනවා දකින්න ලැබෙන එකත් ලොකු වාසනාවක්.

*ජාතික ක්‍රිකට් කණ්ඩායමට එනවා කියන එක ලේසි නෑ. චරිත් ඒ වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කළාද?

චරිත් කියන්නේ සාමාන්‍ය පවුලක ළමයෙක්. එයාගේ තාත්තා කළේ මාළු බිස්නස්. ඉතින් පුතා ඒ කාලේ ගොඩාක් දුෂ්කරතා වින්දා. ලොකු බෑග් එකක් කරේ දාගෙන චරිත් පුහුණුවීම්වලට කොළඹ ගියේ පාරේ බස්වල. ඉතින් හැමදාම ඒ බෑග් එක හින්දා මෙයාට බැණුම් අහන්න වෙනවලු. ඒ වගේ ගොඩාක් දුෂ්කරතා එක්කයි චරිත් අද මේ තැනට ඇවිත් තියෙන්නේ.

*අම්මලා පුතාගේ මැච් බලන්න යනවද? එහෙම නැත්නම් ගෙදර ඉඳන් ටීවී එකෙන් බලනවද?

ලංකාවේ තියෙන මැච් එකක් නම් ගොඩාක් වෙලාවට යනවා. නොයන දවසුත් තියෙනවා. පිටරට මැච්වලට නම් ඉතින් යැවෙන්නේ නෑ.

*පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව චරිත් තමන්ගේ මුල්ම එක්දින ශතකය ලබාගත්තා. එදා මැච් එක බැලුවද?

වාසනාවකට වගේ අපි එදා මැච් එක බලන්න ගියා. ඉතින් පුතාගේ ඒ සුපිරි ඉනිම ඇස් දෙකෙන්ම බලන්න මටත් පුළුවන් වුණා. ඒක ගැන මට හරිම සතුටුයි. හැබැයි පපුව ගැහි ගැහී තමයි පුතා ගහනවා බැලුවේ. එයා 99ක් ගහලා තියෙද්දි ගොඩාක් බය හිතුණා වැරදි පහරක් ගහයි කියලා. ඒත් අන්තිමේ එයා ශතකය ගැහුවා.

*චරිත් තරඟයකට යන්න කලින් ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද?

පුතා ගොඩාක් ආගම දහමට ලැදියි. මැච් එකකට යන්න කලින් පන්සලට ගිහින් පිරිත් නූලක් බැඳගෙන තමයි යන්නේ. ඒ වගේමයි මැච් එකට විනාඩියක් තියලා හරි එයා අපිට කෝල් කරලා අපේ ආශිර්වාදය ගන්නවා.

*පුතා හයක් ගහද්දි අම්මගේ පපුව හිරවෙනවා කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) අම්මෝ ඔව්. හයක් ගහද්දි පපුව හිරවෙනවා ඒක කැච් එකක් කියලා. ඇයි ඉතින් බෝලේ උඩින්නේ යන්නේ. හයක් ගහද්දි විතරක් නෙවෙයි එයා බැට් කරද්දි පවා අපි වාඩිවුණු තැනින් නැගිටින්නේ නෑ. එයා ගහලා ඉවරවෙනකල්ම ඉන්නවා.

*අම්මා දකින විදියට චරිත් ක්‍රීඩාපිටියේදී කරන ලොකුම වැරැද්ද මොකක්ද?

එයා එකම තැනට කැච් දෙනවා. ඔන්න ඔය වැරැද්ද එයා ඉස්කෝලෙදිත් කළා. ඒ දවස්වල නම් ඉස්කෝලේ සර්ලා ඒකට හොඳටම බණිනවා.

*තරඟයක් ඉවරවෙලා ගෙදර ආවම පුතා මොකද කියන්නේ?

චරිත් ගෙදරදි වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. අපි දෙයක් ඇහුවත් කෙටියෙන් තමයි උත්තර දෙන්නේ.

*අපට පේන විදියට නම් චරිත්ගේ අම්මත් හොඳ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් වගේ?

මොකද නැත්තේ? මං පුංචි කාලේ ඉඳන්ම ක්‍රිකට් මැච් බලනවා. ඒ කාලේ අපට ටීවී තිබුණේ නෑ. ඉතින් වෙන ගෙවල්වලට ගිහින් තමයි බලන්නේ. මං ආසම ක්‍රීඩකයා තමයි අසන්ත ද මෙල්. ඊටපස්සේ කුමාර් සංගක්කාර. ඒත් ඒ කාලේ මැච් බලද්දි මගේ කොල්ලෙක් අපේ කණ්ඩායමට සෙල්ලම් කරයි

විශේෂ ස්තුතිය ධරණී පුවත්පතට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button