Cricket NewsEXCLUSIVELPLPremier League

කුසල් ජනිත්ගෙ ශතකය අපතේ යවමින් දඹුල්ල පරදා චරිත් අසලංකගේ ජැෆ්නා කණ්ඩායමට කඩුළු 4ක ජයක්.

ජැෆ්නා කිංග්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු (80) සහ චරිත් අසලංක (50) ගේ දක්ෂ පිතිහරඹය නිසා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (03) දඹුල්ල පිලට එරෙහිව පැවැති තරගයෙන් ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලබාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල පිල ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා හඹාගිය ජැෆ්නා පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබාගත්තේය.

දඹුල්ල ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 09 ක් ලබා සිටියදී දැවී ගියේය. ධනුෂ්ක පසුගිය මාස දෙකක කාලයක් පුරා දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින පිතිකරුවෙකි. දේශීය අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේදීත් ඔහුට කළ හැකි යමක් නොවීය.

ගුණතිලක දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු, නුවණැති පිතිහරඹයක යෙදෙමින් කුසල් ජනිත් හා එක්ව යාපනය පන්දු යවන්නන්ට තලන්නට විය. කුසල් පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළද්දී නුවනිඳු ලකුණකින් හෝ දෙකකින් පැති මාරු කරමින් සිය ජ්‍යෙෂ්ඨයාට අවස්ථාව දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ කුසල්ගේ ශතකය පන්දු 50 කින් වාර්තා වීමයි.

කුසල්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. තවත් ආකාරයකින් නම් කුසල්ගේ ලකුණු 102 න් ලකුණු 70 ක්ම පැමිණියේ හයේ සහ හතරේ පහර වලිනි. මේ අතරවාරයේදී ධනංජය ද සිල්වාට චිත්තාකර්ශනීය ඉන්සයිඞ් – අවුට් පහරකින් සංග්‍රහ කළ නුවනිඳු දෙවැනි වරටත් එවැනිම පහරක් ගැසීමට යාමේදී දැවී ගියේය.

යාපනය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ චරිත් අසලංක (25/0) සහ ධනංජය ද සිල්වා (25/2) දෙදෙනා ඕවර 7 ක් ලකුණු 50 කට සීමාකරගත් නමුත් සෙසු පන්දු යවන්නෝ ඕවර 13 කදී ලකුණු 141 ක් තිළිණ කළහ.
ජැෆ්නා පිලේ මුල් කඩුලු 3 ලකුණු 36කට දැවීගොස් තිබියදී එක්වූ චරිත් අසලංක (50) සහ අවිෂ්ක ප්‍රනාන්දු (80) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු (134) ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 34කදී වාර්තා වූ අවිෂ්කගේ ලකුණු 80 ට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. අසලංකගේ අර්ධ ශතකයට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ අතර ඒ සඳහා පන්දු 36ක් වැයවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button