Cricket NewsDomestic Cricket

ධනංජය ද සිල්වාගේ සුපිරි පිතිකරණය හේතුවෙන් කොළඹ පැරදු යාපනය National Super League අවසන් මහා තරඟයට.!

යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා National Super League තරගාවලියේදී නැවත වතාවක් තුන් ඉරියව්වේම දස්කම් දැක්වීම හේතුවෙන් කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම අද සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ එතෙක් වේලා අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමවෙනුවෙන් පැවැති තුන්කොන් සටනද නිමාවට පත්කරමින් ලබන 19 වැනිදා නුවර පිලට එරෙහිව පල්ලකැලේ පිටියේදී ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවට ක්‍රීඩා කිරීම සඳහා යාපනය පිල සුදුසුකම් ලබා ගත්තේය.

පන්දුවෙන් කඩුලු 2 ක් දවා ලූ යාපනය නායකයා ඉලක්කය හඹා යෑමේදී නොදැවී ලකුණු 79ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දීමට වැඩිම වෙහෙසක් ගනු ලැබූ ක්‍රීඩකයා බවට පත්වූවේය.

ඔහු මෙම තරගාවලියේදී ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් සමග ලකුණු 461 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 76.83 ක් ලෙස සටහන් වේ.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට කොළඹ පිල ලබාගත් ලකුණු 195 ට පිළිතුරු ලෙසින් යාපනය පිතිකරුවන් කඩුලු හයක් දැවී ලකුණු 198ක් රැස්කළේ පන්දු 19ක් ද ඉතිරිව තිබියදීය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 79 ලබා ගැනීම සඳහා පන්දු 93කට මුහුණ දුන්නේය.

හතරේ පහර අටක් ඇතුළත් වුණු නායකයාගේ ඉනිමට අමතරව, ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම (ලකුණු 39) සහ සංතූෂ් ගුණතිලක (ලකුණු 30ක්) පිත්තෙන් දායකත්වය දැක්වූහ.

යාපනය හොඳම සබඳතාවයන් දෙක වූයේ සිව්වන කඩුල්ලට ධනංජය ද සිල්වා සහ සංතූෂ් ගුණතිලක පන්දු 112කදී එක්කළ ලකුණු 69 සහ පළමු කඩුල්ලට සධීර සමරවික්‍රම සහ නිශාන් මධුෂ්ක පන්දු 73කදී රැස්කළ ලකුණු 45 වේ.

යාපනය කාසියේ වාසිය දිනා තීරණය කළේ පන්දුවට පහරදීම කළම්බු කණ්ඩායමට පැවරීමටය.

ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (01) අසාර්ථක වීමෙන් පසු දෙවන කඩුල්ලට නිපුන් ධනංජය (24) සහ නුවනිඳු ප්‍රනාන්දු (37) සබඳතාවය ඉතා සෙමින් ගොඩනැගුවේ පන්දු 111කදී ලකුණු 57ක් පමණක් රැස් කරමිනි. කෙසේ වුවද කළම්බු කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේද එයයි.

කොළඹ කණ්ඩායම රැස් කළ දෙවැනි සාර්ථක සබඳතාවය වූයේ රොෂේන් සිල්වා සහ ළහිරු මධුශංඛ (10) හයවන කඩුල්ලට එවැනිම අඩු වේගයකින් පන්දු 52කදී එක් කළ ලකුණූ 29 වේ.

මොවුනගේ සාර්ථකම පිතිකරුවන් වූයේ රොෂේන් සිල්වා වන අතර ඔහු නොදැවී ලකුණු 64 ක් රැස් කරගත්තේය.

ඊට අමතරව නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 37 ක් සහ නිපුන් ධනංජය ලකුණු 24 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button