Cricket NewsDomestic CricketEXCLUSIVE

අවිශ්ක, අසලංක හා දසුන් ඩුබායි ලීගය අතහැර පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කිරීමට ලංකාවට එයි

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම වැටී සිටින සිය කණ්ඩායම ගොඩගැනීම සඳහා චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක තිදෙනාම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ප්‍රබලතම ක්‍රීඩකයන් වන මේ තිදෙනා ආපසු පැමිණ සිටින්නේ ඩුබායි හි පැවැත්වෙන අයි.එල්.ටී. තරගාවලියේ බැඳීම් පසෙකට දමමිනි.

දැන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ (ප්‍රධානතම) තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ අවසාන කණ්ඩායම් දෙකම ලබන වසරේදී ‘බී’ තලයට තල්ලු කෙරෙන අතර ‘බී’ තලයේ තරගාවලිය පළමු පෙළ තත්ත්වය හිමි නොවේ. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් ලෙසින් පැවැති සිංහල ක්‍රීඩා සමාජය ‘බී’ තලයට ඇදවැටීමේ අවදානමෙන් ගොඩගැනීම සඳහා චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක තිදෙනාම ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර හෙට (31 වැනිදා) ආරම්භ වන තරගයට ක්‍රීඩා කිරීමට තිදෙනාම සූදානමින් සිටිති.

අන්තර් ක්‍රීඩා සමාජ පළමු  පෙළ තරගාවලියේදී තරග 5 කට සහභාගි වී සිටින එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ දක්වා එකම තරගයක් හෝ ජයගැනීමට සමත්ව නැත. තරග දෙකක් සම්පූර්ණයෙන්ම පරාජය වී සිටින එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ඉතිරි තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ. එහෙත් ඒ තරග තුනෙන් එකකදී හෝ අඩුතරමේ පළමු ඉනිමේ ජයක් වත් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එස්.එස්.සී. පිල ‘ඒ’ තලයේ ප්‍රසාද ලකුණු පුවරුවේ (බී කාණ්ඩයේ) පතුළටම වැටී සිටී. දැනට එස්.එස්.සී. පිල සතුවන්නේ ප්‍රසාද ලකුණු 15.32 කි.

එස්.එස්.සී. පිලට තවත් තරග 3 ක් ඉතිරිව තිබේ. එහෙත් ලබන වසරේදී ‘බී’ තලයට තල්ලු නොවීමට නම් එස්.එස්.සී. පිලට, අවම වශයෙන්, ඉතිරි තරග තුනෙන් පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් හෝ අවශ්‍යව තිබේ.

මුවර්ස්, ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී. යන කණ්ඩායම් වලට එරෙහි තරග එස්.එස්.සී. පිලට ඉතිරිව තරග වෙයි. එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ (බී කාණ්ඩයේ) පළමු ස්ථාන දෙක හිමි එන්.සී.සී. සහ මුවර්ස් ක්‍රීඩා සමාජ දෙකම අවසන් මහ තරගයේ ස්ථානයක් සොයමින් සිටින බැවින් හැකි තරම් ප්‍රසාද ලකුණු ලබාගැනීම මුවර්ස් සහ එන්.සී.සී. කණ්ඩායම් වලද අරමුණයි. එබැවින් ඉතිරි තරග තුනම එස්.එස්.සී. පිල හමුවේ ඇති අසීරු අභියෝග වනු ඇත.

මුවර්ස් තරගය සඳහා එස්. එස්.සී. සංචිතය
චරිත් අසලංක, නිපුන් ධනංජය, ෂෙවොන් ඩැනියෙල්, ක්‍රිෂාන් සංජුල, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, කවිඳු නදීශාන්, නිසල තාරක, ප්‍රමෝද් මධුෂාන්, නිම්නක ජයතිලක, සසිඳු මල්ෂාන්, ගීෂාන් බාලසූරිය, මොහොමඩ් ෆස්ලි, සදීෂ රාජපක්‍ෂ සහ දිනුර කළුපහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button