Hong Kong Sixes තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම පිටත් වේ.
ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගියහ.
ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක සහ තනුක දාබරේ ඇතුළත්ව ඇති අතර, සඳුන්, කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන අතර මේ සියලු ක්‍රීඩකයෝ තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයෝ වෙති.
මේ ක්‍රීඩකයන් අතරින් 5 දෙනකුම ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන ඇති අතර, 28 හැවිරිදි තරිඳු රත්නායක සහ 26 හැවිරිදි තනුක දාබරේ පමණක් ජාත්‍යන්තර තරග වරම් ලබා නැත. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් අතර සිටිති.
වසර 7කට පසුව පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් එක්වන අතර, තරගාවලිය හෙට (1) සිට 3 වැනිදා දක්වා පැවැත්වේ. ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 29කි. තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා පිල ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. බංග්ලාදේශය සහ ඕමානය එම කාණ්ඩයට ඇතුළත් වන අතර, මූලික වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබයි.
පෙරවරු 8.45ට ඕමානයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල පස්වරු 2.10ට බංග්ලාදේශයට එරෙහිව මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි.
1992 වසරේ ආරම්භ වූ මේ තරගාවලිය අවසන් වරට පැවතියේ 2017 වසරේදීය. එම තරගාවලීන් සියල්ලට කණ්ඩායම් 8 බැගින් එක් වූ අතර, එය මෙවර 12 දක්වා වැඩි කර තිබේ. එහිදී වැඩිම ශූරතා ගණනක් දිනා ගැනීමට වත්මන් ශූර දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ එංගලන්තය සමත්ව අති අතර, ඔවුන් ශූරතා 5 බැගින් දිනා ඇත. 2007 වසරේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව, 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව දිනා තිබේ.