Cricket NewsEXCLUSIVESchool Cricket

සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙයි. ඊයේ එස්එස්සී පිටියේදී නිමාවූ මේ දෙදින මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද පිල මුලින් පන්දුවට පහර දීමට නාලන්දාවට ආරාධනා කළ අතර, එහිදී නාලන්දා පිල මුල් ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

ආනන්ද විදුහල ප්‍රතිවාදීන්ට කදිම පිළිතුරක් ලබා දෙමින් මුල් ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබා තිබියදී ඉනිම අත්හිටුවූ අතර, නාලන්දාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියදී තරගය නිමා වුණි.

ආනන්ද – නාලන්දා විදුහල් අතර, ‘සුලෝහිත සංග්‍රාමයේ’ වසර 9කට පසු නායකයකු ශතකයක් රැස් කරමින් වාර්තා පොතට එක්වූ සජිත විතානගේ පන්දු 178කදී නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූවේය. හතරේ පහර 9ක් සහ හයේ පහර 2 කින් අලංකාර වූ සජිතගේ ඉනිම මේ මහා තරගය වර්ණවත් කළේය. මෙයට පෙර ආනන්ද – නාලන්දා විදුහල් අතර, 2015 වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේදී ආනන්ද පිලේ නායක ෂම්මු අශාන් ශතකයක් වාර්තා කිරීමෙන් පසු නාලන්දා නායක සජිත ශතකයකින් නායකත්වයේ ඉනිමක් ගොඩනැංවීය.

නාලන්දා වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට විවිධ වයස් ඛාණ්ඩ යටතේ වසර ගණනාවක් ක්‍රීඩා කළ සජිත මෙයට පෙර ශතකයක් වාර්තා කර නැති නමුත් මේ මහා තරගයේදී අවශ්‍යම වේලාවට තම විදුහල් මාතාව වෙනුවෙන් ශතකයක් රැස් කිරීම මෙහි ඇති විශේෂත්වය වේ. පන්දු 141කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 84ක් රැස් කළ සදෙව් සමරසිංහ සමඟ එක්වූ සජිත සිවුවැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් කළ අතර, සජිත විතානගේ සහ ඔසඳ පමුදිත අතර පස්වැනි කඩුල්ලට ගොඩනැඟූණු අගනා ලකුණු 104ක සබඳතාව තීරණාත්මක විය.

ආනන්දය වෙනුවෙන් දිනද අතලගේ ලකුණු 71ක් ලබාගත් අතර, කිත්ම විදානපතිරණ ලකුණු 76ක් ලබා ආනන්ද – නාලන්දා මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතරට එක් වූහ. නාලන්දා දෙවැනි ඉනිමේදී ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් එල්ල කළ මනූප මින්මිත පන්දු 24කදී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

මේ මහා තරගයේ හොඳම පිතිකරු සම්මානය නාලන්දා විදුහලේ සදෙව් සමරසිංහ, හොඳම පන්දු යවන්නා ආනන්ද විදුහලේ කවීෂ මෙන්ඩිස්, හොඳම පන්දු රකින්නා ආනන්ද විදුහලේ කිත්ම විතානපතිරණ හා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා නාලන්දා නායක සජිත විතානගේ සම්මාන දිනා ගත්හ.

මේ මස 17 වැනිදා ආනන්ද – නාලන්දා එක්දින තරගය පැවැත්වීමට නියමිතය.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7