LPL තරගාවලියේ දූෂණයක් සම්බන්ධයෙන් කොදෙව් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට වසර පහක තහනමක්!
ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ සිදුවූ තරග පාවාදීමක් සම්බන්ධයෙන් අයිසීසී දූෂණ විරෝධී නිලධාරීන් සිදු කරන ලද පරීක්ෂණයකදී සම්පූර්ණ විස්තර හෙළිදරව් නොකිරීම, පරීක්ෂණය සිදු කළ නිලධාරින්ට සහය නොදැක්වීම හා පරීක්ෂණවලට බාධා කිරීම හා තොරතුරු විනාශ කිරීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට වසර පහක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනියි.
ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කළ ඩෙවොන් තෝමස් එම තරගාවලියේ තරග ගිවිසුම උල්ලංඝනය කරමින් හැසිරුණ බවට ද අයිසීසීය චෝදනා ඉදිරිපත් කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිවිදභාවයෙන් යුතු නීති මාලාවක් ඉදිරිපත්කොට දූෂණය වැළැක්වීමට පියවර ගෙන තිබියදී එහි නීති 7ක් කඩ කිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට මේ තරග තහනම පනවා ඇතැයි අයිසීසීය මාධ්‍ය නිවේදනයකින් කරුණු දක්වා ඇත.
ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංගයන් සම්බන්ධයෙන් කුමන්ත්‍රණ කිරීමට හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ හවුල් වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහයේ වගන්ති කඩ කිරීම හේතුවෙන් ඩෙවෝන් තෝමස් හට වසර පහක ක්‍රිකට් තරග සඳහා නුසුදුස්සෙකු බවට තීරණය කොට තිබේ.
මේ චෝදනා පිළිගැනීමට ක්‍රීඩකයා එකඟ වී ඇති අතර, ඒ හේතුවෙන් නඩු විභාගයක් වෙනුවට අයිසීසී සම්බාධක ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංග්‍රහයේ වගන්ති අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දූෂිත හැසිරීම්වලට අමතරව මේ ක්‍රීඩකයාගේ අබුඩාබි ටී10 තරගාවලියේ දූෂිත හැසිරීමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇත. මේ තරගාවලියේ දූෂණයක් සම්බන්ධයෙන් ලැබුණු ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු, නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වූ බවට ද චෝදනා ඉදිරිපත් වී තිබේ.