Cricket NewsDomestic CricketEXCLUSIVE

NSL එක්දින කිරුළ පිට පිට දෙවැනි වරටත් දඹුල්ලට

May be an image of 9 people and textපවන් රත්නායකගේ ශතකය සහ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෙවැනි වරට සංවිධාන කළ මෙරට ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟින් රුපියල් ලක්ෂ 20 ත්‍යාග මුදල දිනා ගැනීමට මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ඊයේ සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවති අවසන් තරගයේදී දඹුල්ල පිල හමුවේ මහනුවර කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්විය. අනුශූර මහනුවර කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි විය.

දඹුල්ල පිල පිට පිට මේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මහනුවර දෙවැනි වරටත් අනුශූරයන් වූ අතර, මින් පෙර තරගාවලිය ආරම්භ වූ 2022 වසරේ යාපනය හමුවේ අනුශූරයන් වී තිබිණි.

ඊයේ තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් දඹුලු පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 332ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 45.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 313ක් පමණි.

මහනුවර පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7දී බිඳ වැටීමෙන් අනතුරුව ළහිරු උදාර සහ කමිල් මිෂාර එක්ව ඉනිම ගොඩනැඟුවේ ලකුණු 149ක සබඳතාවක් පිහිටුවමිනි. ලකුණු 86ක් රැස් කර සිටි උදාර දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එල්ල කළ ඔහු සිය ඉනිමට වැය කළේ පන්දු 50ක් පමණි. මිෂාර එක් අන්තයක සිටියදී කවින් බණ්ඩාර (9) සහ නායක අහන් වික්‍රමසිංහ (13) අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර, ශතකයට ලකුණු 6ක් පසුපසින් සිටි මිෂාර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 219ක් විය.

කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබුණු අතර, පසු පෙළින් හුදෙකලා සටනක නිරත වූ වනුජ සහන් නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී අයන සිරිවර්ධන සහ දුෂාන් හේමන්ත කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගත්තේය.

දඹුලු ඉනිමේදී නායක මිනෝද් භානුක සමඟින් ඉනිම ඇරඹූ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ලට ලකුණු 96ක් එක් කළ අතර, ලසිත් ලකුණු 36කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. තවත් ලකුණු 13ක් වෙද්දී භානුකගේ ඉනිම ද නිමා වූ අතර, ඔවුන් දෙදෙනාම පුලින තරංගගේ පන්දු හමුවේ දැවී ගියහ. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක පන්දු 62කින් ලකුණු 69ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟිනි.

මුළු ලකුණු 109දී දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ එක් වූ සනෝජ් දර්ශික සහ පවන් රත්නායක ලකුණු 269 දක්වා ඉනිම ඉදිරියට ගෙන ගියේ ලකුණු 160ක සබඳතාවකිනි. හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් පන්දු 73කින් ලකුණු 73ක් රැස් කළ දර්ශික දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටි පවන් සිවුවැනි කඩුල්ලට අයන සිරිවර්ධන (21) සමගින් ලකුණු 53ක් එක් කළේය. පවන් ඉනිම නිමා වන විට පන්දු 108කින් නොදැවී ලකුණු 118ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. පන්දු යැවීමේදී පුලින තරංග කඩුලු 2ක් බිඳ දැමූහ.

මේ අවසන් තරගයේ වීරයා සම්මානය සමඟින් රු.75,000ක් පවන් රත්නායකට හිමි වූ අතර, තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ළහිරු කුමාර (මහනුවර) සහ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස ශෙහාන් ප්‍රනාන්දු (ගාල්ල) සම්මාන සමඟින් රු.150,000 බැගින් මුදල් ත්‍යාග දිනා ගත්හ. තරගාවලියේ වීරයාට හිමි සම්මාන සමඟ රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගය යාපනය කණ්ඩායමේ ජනිත් ලියනගේට හිමි විය.

දඹුල්ල – 332/4 (ඕවර 50) පවන් රත්නායක නොදැවී 118, සනෝජ් දර්ශික 73, මිනෝද් භානුක 69, ලසිත් කෲස්පුල්ලේ 36 (පුලින තරංග 68/2)

මහනුවර – 313 (ඕවර 45.3) කමිල් මිෂාර 94, ළහිරු උදාර 84, වනුජ සහන් නොදැවී 44 (අයන සිරිවර්ධන 58/3, දුෂාන් හේමන්ත 63/3, මොහොමඩ් සිරාස් 42/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button