සංචාරක ශ්රී ලංකා ‘ඒ’ හා පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම අතර දෙවැනි සිව්දින තරගය ජය පැරදුමකින් තොරව අවසන් වේ.
සංචාරක ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම අතර පැවති අවසන් සිවුදින තරගය රාවල්පින්ඩිහිදී ඊයේ ජය පරාජයෙන් තොරව නිමා විය.
කෙසේ වෙතත් තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගය පාකිස්තානය ජයගත් හෙයින් ඔවුන්ට 1-0ක් ලෙස තරගාවලියේ ජය හිමි විය.
මේ තරගයේදී ශ්රී ලංකා පිලෙන් පාකිස්තානයට ජයග්රහණය සඳහා ලකුණු 284ක ඉලක්කයක් ලබාදුන් අතර, තරගය නිමා වන විට එම ඉලක්කය හඹා යන පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කර තිබිණි. මොහොමඩ් සුලෙමාන් නොදැවී ලකුණු 66ක් සහ හයිදර් අලි නොදැවී ලකුණු 43ක් රැස් කර ගෙන සිටියහ.
ඊයේ අවසන් දිනය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 157ක් රැස් කර සිටි ශ්රී ලංකා ඉනිම ලකුණු 260 දක්වා ඉදිරියට ගෙන යෑමට සොනාල් දිනූෂ සහ පවන් රත්නායක සමත් වූහ.
පෙරේදා තරගය නතර කරන විට නොදැවී ලකුණු 64ක් ලබා සිටි පවන් ලකුණු 100ක් දක්වාත්, ලකුණු 51ක් රැස් කර සිටි සොනාල් නොදැවී ලකුණු 116ක් දක්වාත් සිය ඉනිම් ඉදිරියට රැගෙන ගියහ.
දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට පන්දු 369කින් ලකුණු 214ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟී තිබිණි. සොනාල් පන්දු 184කදී හතරේ පහර 10ක් සහ පවන් පන්දු 198කදී හතරේ පහර 8ක් එල්ල කර තිබිණි.
මේ සංචාරය යටතේ ශ්රී ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තාන සහීන්ස් අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් රාවල්පින්ඩිහිදීම පැවැත්වෙන අතර, පළමු තරගය මේ 25 වැනිදා පැවැත්වේ.
ශ්රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 310 (ඕවර 79) සොනාල් දිනූෂ නොදැවී 85, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, පවන් රත්නායක 35, අහන් වික්රමසිංහ 30, දිනුර කළුපහන 30 (කුරාම් ෂාසාඩ් 30/6, අහමඩ් සෆි 100/2) සහ දෙවැනි ඉනිම – 157/4 (ඕවර 45.2) සොනාල් දිනූෂ නොදැවී 116, පවන් රත්නායක නොදැවී 100 (අහමඩ් බෂීර් 65/2)
පාකිස්තාන සහීන්ස් පළමු ඉනිම – 287 (ඕවර 71) අබ්දුල් ෆසීන් 59, මොහොමඩ් සුලෙමාන් 40, හයිදර් අලි 35, අහමඩ් සෆි 39 (වනුජ සහන් 74/5) සහ දෙවැනි ඉනිම – 156/3 (ඕවර 45) මොහොමඩ් සුලෙමාන් නොදැවී 66.