Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පත්කෙරේ

ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (6 වැනිදා) වැඩ බාරගත්තේය. ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් සිටි ඉන්දීය ජාතික ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්ව යාම හේතුවෙන් ආසියානු ක්‍රිකට් සභාවේ මුල් පුටුව පුරප්පාඩු විය.

ශම්මි සිල්වා මහතා වසර 2019 සිට මේ දක්වාම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාවේ සභාපති ධූරය හොබවයි.

තිලංග සුමතිපාල මහතාට (2015 – 2016) පසුව ආසියානු ක්‍රිකට් සභාවේ මුල් පුටුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශම්මි සිල්වා මහතාය. ගාමිණී දිසානායක මහතා (1985-1987) ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි ශ්‍රී ලාංකිකයා වන අතර පසුව උපාලි ධර්මදාස, තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස සහ අර්ජුන රණතුංග ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති තනතුරට පත්වූහ.

ආාසියානු ක්‍රිකට් සභාවේ විධායක මණ්ඩල සාමාජිකයකු වශයෙන් වසර ගණනාවක්ම කටයුතු කළ ශම්මි සිල්වා මහතා එහි මූල්‍ය සහ අළෙවි කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද වසර කිහිපයක්ම කටයුතු කළේය.

“ආසියානු ක්‍රිකට් සභාවට නායකත්වය දීමේ අවස්ථාව ලැබීම මහත් සතුටට කාරණාවක්”
“ක්‍රිකට් කියන්නේ ආසියාවේ හදගැස්මයි. ඒ නිසා ආසියානු ක්‍රිකට් සභාවේ සියලුම සාමාජික රටවල නියෝජිතයන් සමග සමීපව කටයුතු කරමින් අපේ ක්‍රීඩාව වඩාත් ඉහළ තලයකට ගැනීමටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නැඟී එන දස්කම් සඳහා නව අවස්ථා නිර්මාණය කරමින් මේ ක්‍රීඩාවෙන් අප බැඳී සිටින බැම්ම වඩාත් ශක්තිමත් කරගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා” යයි ආසියානු ක්‍රිකට් සම්මේලනයට විශේෂ ප්‍රකාශයක් කරමින් ශම්මි සිල්වා මහතා පැවසීය.

ආසියානු සභාපති තනතුරෙන් ඉවත්ව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධූරය බාරගන්නා ජේ ෂා මහතාගේ ධූර කාලයේදී කළ සේවය වෙනුවෙන් ඔහුට ස්තුති කිරීමටත් ශම්මි සිල්වා මහතා අමතක නොකළේය. ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම තරගාවලි වන ආසියානු කුසලාන තරගාවලි වෙනුවෙන් (2024 සිට 2031 දක්වා) ඉතිහාසයේ මෙතෙක් පැවැති ඉහළම අගය ලබාගැනුණේ ජේ ෂා මහතා සභාපති ධූරය හොබවමින් සිටියදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button