Cricket NewsEXCLUSIVEWoman Cricket

කාන්තා ආසියානු කුසලාන ශුරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව අද අවසන් මහා තරඟයට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ අපේ සිංහ ධේනුවන් සුදානම්.!

වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද දිනයේ ඉන්දියාවට එරෙහිව තරඟ බිමට පිවිසීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායමේ කීර්තිය හෝ පසුගිය තරග සම්බන්ධයෙන් අවධානය යොමු නොකර, තමන්ගේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා කාන්තාවන්ගේ අපේක්‍ෂාව බවට පත් වී තිබෙනවා.

බංග්ලාදේශයේ ෂිලාත් නගරයේදී අද පස්වරු 1.30 ට ආසියානු කුසලාන අවසන් මහා තරඟය ආරම්භ වීමට නියමිතය.

“අපි ආසියානු කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගෙන ඉන්නේ අවුරුදු 14 කට පස්සේ. ඒ නිසා මේ තරගය අපිට හරිම වැදගත්. අපි අපේ සැලසුම් වල එල්ලිලා ඉන්නවා” යයි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ සවස පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවසා සිටියා.

“ඉන්දියාව කියන්නේ මේ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරේ හැම දෙනාගේම බලාපොරොත්තුවයි. පසුගිය සති තුන හතරක කාලයේදී ඒ ගොල්ලන් ඉතාමත් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා. අපිත් එක්ක විතරක් නෙමේ එංගලන්තයත් එක්කත් ඒ ගොල්ලන් හොඳින් සෙල්ලම් කළා”

“ඒත් ඒවායින් අපට වැඩක් නෑ. කලින් පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වූණත් හෙට අලුත් දවසක්. අලුත් තරගයක්. අපි අපේ සැලසුම් වල එල්ලිලා ඉඳගෙන තරග කරනවා” යයි චමරි අතපත්තු වැඩිදුරටත් පැවසුවාය.

අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දීය කාන්තාවෝ ලෝකයේ කාන්තා කණ්ඩායම් අතර 4 වැනි ස්ථානයේ සිටිති. ඉන්දීය කාන්තාවන් සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7935 කි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4139 කි.

ආසියානු කුසලාන මූලික වටයේදී ඉන්දියාව පරාජය වූයේ එකම තරගයකින් පමණි. ඒ පාකිස්තානයට එරෙහිවය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේදී, විශේෂයෙන්ම විස්සයි-20 ක්‍රීඩාවේදී ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

“පසුගිය අවුරුදු තුන හතරක කාලයේදීම, ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතියක් වශයෙන් අපි ටිකක් අසීරුවෙන් තමා හිටියේ. අපේ කණ්ඩායම විතරක් නෙමේ, පිරිමි කණ්ඩායමත් අමාරුවේ වැටුණු අවස්ථා තිබුණා. ඒත් පිරිමි කණ්ඩායම ආසියානු කුසලාන දිනාගත්තාට පස්සේ ඒක අපට විශාල ධෛර්යයක් වුණා” යයි ශ්‍රී ලංකා නායිකාව කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7