EXCLUSIVETrending Article

පොඩි කොල්ලො ටිකක් එක්ක නැවතත් ක්‍රිකට් ලෝකය පුරාවට සිංහ අණසක පතුරවන සිංහ නායකයා – දසුන් ශානක

දසුන් කියන්නේ අර්ජුනගෙන් පස්සේ දැකපු හොදම නායකයා කියලා කිව්වොත් එකඟද ?

ඔව්.. මං දන්නවා. මහේල , සනත් , සංගා වගේ අය කියන්නේ අපි දේවත්වයෙන් අදහන ලෙජන්ඩ්ලා. එයාලටත් වඩා දසුන් හොදද ? ඇත්ත.. මහේලලා කියන්නේ දසුන්ලාට වඩා පිටිය මැදදී උපක්‍රම අතින් වගේම ක්‍රීඩකයින් ගැන හොදට කියවපු අනාගතය දැකපු හොද නායකයින්,

හැබැයි දසුන් වෙනස්,

දසුන්ට අනිත් අයට වගේ හොද කන්ඩායමක් හිටියේ නැ. හිටපු අයත් කෑලි කෑලි වලට කැඩිලා කාලගෝට්ටියක් වෙලා තිබුනේ. ක්‍රීඩකයින් අතරේ එකමුතුකමක් නැතුව මොන තරම් නායකයින් ආවත් මේ ටීම් එක ගොඩ ගන්න බැ.. හැබැයි දසුන් ආවා.

දසුන් ඇවිත් අර කැඩිලා සුනුවිසුනු වෙලා තිබුන ප්ලෙයර්ස්ලා මුලින්ම එකට එකතු කරලා මේක ටීම් එකක් කරා.
ඊට පස්සේ අපි දැක්කා. මැච් පරදිනවා. හැබැයි මේ කොල්ලොන්ගේ ඇගවල් වල දිනන්න ඕනි උණ බෝ වෙලා තිබුනා. ඒ වෙද්දි සමහර ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් එපා වෙලා තිබුනේ. ඒ පරදින නිසාම නෙමෙයි. එදා මැච් බලපු අය දන්නවා කොහොමද පැරදුනේ කියලා. හරියට එදා මේ අය ක්‍රිකට් ගැහුවේ අපිට ඕනවට වගේ. ඒ තරමටම කල කිරුනා.

හැබැයි ඒ ක්‍රිකට් එක දසුන් ඇවිත් වෙනස් කරා. මැච් පරදිද්දි පරාජයේ වේදනාව දිනන්න ඕනි කැක්කුම මේ මූණූ තුලින් දැක්කා. මිනිස්සු ආයෙමත් ක්‍රිකට් බලන්න පටන් ගත්තා.

බලාපොරොත්තුවක් ආවා. කවදා හරි අපි දිනනවා. ක්‍රිකට් නෙමෙයි ඕනෑම දෙයක් ජයග්‍රහණය කරන්න නම් මුලින්ම ඒ දේට උනන්දුව තියෙන්න ඕනි. ඉතිං ඒ ඇම්ම දසුන් මේ ක්‍රීඩකයින්ට බෝ කරා. අලුතින් එන අයටත් ඒ ඇම්ම බෝ වුනා.
ප්‍රවීණයින් පවා ගොඩ ගන්න බැ කිව්ව ක්‍රිකට් එක දසුන් ටික ටික ගොඩට අදිමින් ඉන්නවා.

අද වෙද්දි එක්දින ක්‍රිකට් කන්ඩායම ගැන ප්‍රේක්ෂකයාගේ විශ්වාසය දෙගුණ තෙගුණ වී තියෙනවා. හොදම එකොලහක් විතරක් නෙමෙයි හොදම දෙවෙනි පෙල කුත් දැන් අපිට ඉන්නවා.

ඊට පස්සේ විස්සයි විස්ස,

මේක නම් ගොඩ ගන්න බැ.. එක්දින වගේ නෙමෙයි. මේ රටේ ටුවෙන්ටි ෆෝමැට් එකට ගැලපෙන ප්ලෙයර්ස්ලා නැ.. මිනිස්සු මේ ලගදිත් එහෙම කිව්වා. හැබැයි දසුන් ඒ හැමෝටම එයාගේ සහෝදරයෝ ටිකත් එක්ක උත්තර දුන්නා.
කාලයක් පිං කැපා කිව්වා. ටීම් එකෙන් පන්නන්න ඕනි කිව්වා. හැබැයි දසුන් ආවේ නැත්තම් තාමත් අපේ මේ ක්‍රිකට් එක අමු අපායක් වෙලා,

ඔව්, මේ පිං කැපා තමා..අර්ජුන කරපු දේ ආයෙමත් කරලා ශ්‍රි ලංකා ක්‍රිකට් කියන නමට වැදුනු මඩ පාරවල් සේදුවේ මේ පිං කැපා. මහේලලා රට දිනෙව්වා. හැබැයි දසුන් මේ රටේ ක්‍රිකට් එක ආයෙමත් මුල ඉදලා හැදුවා.

හරියට එදා අර්ජුන කරා වගේ. අර්ජුන ලෝක කුසලාන ගත්තට දසුන් නම් තාම එහෙම කරලා නැ.. හැබැයි අවුරුදු ගානක් ලෝක ක්‍රිකට් පිටියේ හෑල්ලු වෙවී හිටපු මගේ රට අද අවුරුදු අටකට පස්සේ නැවතත් ආසියානු කුසලානයක අවසාන මහ තරගයට සුදුසුකම් ලබලා ලෝකෙටම ලොකු පණිවිඩයක් කියලා තියෙනවා. මේ රටේ ක්‍රිකට් ඉවර නැ… දසුන්ගේ සිංහයෝ ආයෙමත් ආවා.

ඉතිං දසුන් මට අර්ජුනගෙන් පස්සේ හොදම නායකයා වෙන්න ලෝක කුසලාන දිනන්න ඕනි නැ.. මේ කරපු ටික හොදටෝම ඇති. දැන් දසුන් අවශ්‍ය පරිසරය හදලා ඉවරයි. හෙට දසුන්ගෙන් පස්සේ අලුත් නායකයෙක්ට අවශ්‍ය නම් මේ කන්ඩායම එක්ක රට දිනවන්න පුළුවන්. නමුත් ජයග්‍රහණය නුහුරු ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ජයග්‍රහණය නැවතත් හුරු කලේ දසුන්,

හරියට එදා අර්ජුන ලෝකයට ශ්‍රි ලංකාව කියලා රටක් මේ ලෝකේ තියෙනවා කියලා මතක් කරා වගේ දසුන් මේ වෙද්දි අපේ ක්‍රිකට් ආයෙමත් නැගිටලා කියලා ලෝකෙටම කියලා ඉවරයි.

ඉතිං දසුන් මට අර්ජුනගෙන් පස්සේ හොදම නායකයා වෙන්න ලෝක කුසලාන ගේන්න ඕනි නැ….. මේ කරපු ටික හොදටම ඇති, අනික දසුන් කියන්නේ දෙයක් වැරදුනොත් ඒක ඉක්මනින්ම හදා ගන්න නායකයෙක්,

දිනපු දවසට මාධ්‍යයට අදහස් දෙන්න කවුරු ගියත් පරදින දවසට මාධ්‍යයට උත්තර බදින්නේ දසුන්, කන්ඩායම වට්ටන්න සමහරු කතා කරද්දි දසුන් හැමදාම හිටියේ ප්ලෙයර්ස්ලාගේ පැත්තේ, මේ ටීම් එකේ අයියලා නැ… මැච් සීයක් ගහපු එකයි අලුතින් ආපු එකාටයි කියලා සැලකිලි දෙකක් නැ.. හැමෝම ඉන්නේ එකට, ඒ නිසාමයි මේ අය මෙච්චර එකමුතුව ඉන්නේ…
ඉතිං අර්ජුනගෙන් පස්සේ දසුන් මගේ හොදම නායකයා වෙන්න තවත් හේතු මොනවටද ?

දසුන් දවසක් කිව්වා. කවදාහරි බලාපොරොත්තුව රට වෙනුවෙන් ක්‍රීඩා කරලා රට දිනවන්න කියලා. අද දසුන් ඒක කරනවා. එතකොට මේ ලගදී දසුන්ගෙන් මාධ්‍යවේදීයා අහනවා මොනවද ඉදිරි බලාපොරොත්තු කියලා.. පෞද්ගලික අරමුණු නැ.. කිව්වේ එකම කතාවයි. “මගේ බලාපොරොත්තුව කොහොම හරි නැවතත් මගේ රටට ලෝක කුසලානයක් අරන් එන එක ” කියලා. ඒ තමයි දසුන්. තමන්ට කලින් හැමදාම අංක එක කර ගත්තේ රට,

ඉතිං දසුන් අද දිනලා ඉවරයි. දක්ෂ නායකයෝ බිහි වේවී. හැබැයි අර්ජුනලා දසුන්ලා වගේ නායකයෝ බිහි වුනා නම් බිහි වුනේ මගේ රටේ පෙර වාසනාවකට..!!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button