වනිඳුට හා තීක්ෂණට ඉන්දීය රුපියල් කෝටි දෙකක ලංසුවක් – අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය හෙට හා අනිද්දා සවුදියේදී
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් ක්‍රීඩකයන් 574ක් ඉදිරිපත් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබේ. ඒ අනුව වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයන් 366ක් සහ විදෙස් ක්‍රීඩකයන් 208ක් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ ක්‍රීඩකයන් 574 අතර ජාත්‍යන්තර තරග වරම් හිමි කරගෙන ඇති ක්‍රීඩකයෝ 330ක් (ඉන්දීය 318 හා විදෙස් 12) ද ඇතුළත්ව සිටිති. කෙසේ වෙතත් මින් කණ්ඩායම් 10ට මිල දී ගත හැක්කේ ක්‍රීඩකයන් 204ක් පමණි. ඉන් 70ක් විදෙස් ක්‍රීඩකයන් වනු ඇත.
මෙහිදී ඉහළම වටිනාකම සහිත කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි 2ක කාණ්ඩයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද ඇතුළුව ප්‍රබල ක්‍රීඩකයන් 81 දෙනකු ඇතුළත් වන අතර, ඊට පසුගිය තරග වාරයේ කණ්ඩායම් මෙහෙයවූ රිෂාබ් පාන්ට් (දිල්ලි), ලෝකේෂ් රාහුල් (ලක්නව්) සහ ශ්‍රේයාස් අයියර් (කොල්කටා) ද ඇතුළත්වී සිටිති. මේ අතර පසුගිය වසර 10ක කාලයේදී කිසිදු විස්සයි20 තරගයකට ක්‍රීඩා නොකර එංගලන්තයේ ජෙම්ස් ඇන්ඩර්සන් ද කෝටි 1.25ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි වී සිටීම විශේෂත්වයකි.
මේ අතර මේ වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් 29 දෙනකු ලියාපදිංචි වී සිටි අතර, ඉන් අවස්ථාව ලැබී ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනකුට පමණි. එහි ඉහළම වටිනාකමක් සහිත කාණ්ඩයට දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුළත්ව සිටිති. ඔවුන් දෙදෙනා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික වටිනාකම (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 69,364,497) යටතේ ඉදිරිපත් කෙරෙනු ඇත.
ඉන්දීය රුපියල් ලක්ෂ 75 (ශ්‍රී ලංකා රුපියල් 26,011,686) මූලික වටිනාකම යටතේ ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත්ව තිබේ. ඊට විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවන් තුෂාර , භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුශංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක සහ ළහිරු කුමාර ඉදිරිපත් කරන අතර, ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කාණ්ඩයට ඇතුළත්ව සිටිති.
මේ වෙන්දේසියට ඉදිරිපත් නොකර ක්‍රීඩකයන් රඳවා ගැනීමට කණ්ඩායම්වලට අවස්ථාව දී තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාවෙන් අවස්ථාව හිමි වූයේ මතීෂ පතිරණට පමණි. ඔහු චෙන්නායි පිල විසින් රඳවාගෙන තිබිණි. ඔහු ඉන්දීය රුපියල් කෝටි 13 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක්) මුදලකටය.
මේ අතර ලබන වසරේ අයිපීඑල් තරගාවලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 25 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 74කි.