කොදෙව්වන්ගෙ ක්‍රිකට් හදන්න ලංකාවෙන් කෙනෙක් පත් කරයි.

ශ්‍රී ලංකාවේ හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය දූපත් ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් මාධ්‍ය සඳහන් කරන්නේ ඉතා පුළුල් සහ නිවැරදි ක්‍රමවේදයක් යටතේ එම තෝරාගැනීම සිදු කර ඇති බවය. කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්ය සාධනය සහ ප්‍රවර්ධනයේ නව යුගයක් කරා එරට ක්‍රිකට් ඇකඩමිය රැගෙන යෑමට වඩාත්ම සුදුසු පුද්ගලයා රමේෂ් සුබසිංහ ලෙස ක්‍රිකට් පරිපාලනය විසින් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ. ලබන මැයි මස 1 වැනිදා සිට ඔහු එම තනතුරෙහි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
කොදෙව් ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරයට ජාත්‍යන්තර පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් 53ක් ලැබී ඇති අතර, පළමුව එහි හොඳම පුහුණුකරුවන් 12 දෙනාගේ කෙටි ලැයිස්තුවටත්, පසුව අවසන් 6 දෙනාගේ කෙටි ලැයිස්තුවටත් ඇතුළත් වූ සුබසිංහ මේ තනතුරට තෝරාගෙන ඇත්තේ ගයානා, ජැමෙයිකා, බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව වැනි රටවලින් ද ප්‍රබල පුහුණුකරුවන් රැසක් අතුරිනි.
බටහිර ඉන්දීය ක්‍රිකට් ඇකඩමිය තුළින් එරට අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු ආයෝජනයක් සිදු කිරීම සුබසිංහගේ කාර්යභාරය වන අතර, ඔහුගේ තාක්ෂණික දැනුම, උපායමාර්ගික තීක්ෂණ බුද්ධිය සහ ක්‍රීඩකයන් සංවර්ධනය කිරීමට ඔහු තුළ ඇති බලවත් උනන්දුව සුබසිංහ එම තනතුරට පත්වීමට හේතු වී ඇතැයි කොදෙව් මාධ්‍ය සඳහන් කළේය. කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරපුර හැඩගැස්වීම ඔහුගේ නායකත්වය යටතේ සිදුවනු ඇතැයි එරට ක්‍රිකට් ප්‍රධානින් විශ්වාසය පළ කර තිබේ.