ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් පිටියේ ප්‍රමුඛයකු වීමට රජයෙන් දිය හැකි උපරිම සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීමේ අපේක්ෂාවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකීම යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වැනි සංවත්සර සැමරුමට එක් වෙමිනි.
සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර, එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදාතුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර, අනතුරුව ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිව යුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශපාලනඥයකු ලෙස මම තීරණය කළා එයින් ඉවත්විය යුතුයි කියලා. අද පවතින දේශපාලනය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ හෝ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ පැවති දේශපාලනය නොවෙයි.
දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලු දෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබාගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි.
ක්‍රීඩාවෙන් අප ඈත්ව සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා. ඒ වගේම අපේ නායකයන් විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමාජයට අයත් භූමිය 99 අවුරුදු බදු පදනම මත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයකු වනු දැකීම මගේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්රමුඛයෙකු බවට පත් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වයට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති ඉඳුනිල් ද සිල්වා, ලේකම් වසන්ත විජේසේකර, භාණ්ඩාගාරික නිලංක පීරිස් යන මහත්වරුන් ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද හිටපු එංගලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන්, අයිසීසී තරග තීරක රංජන් මඩුගල්ලේ යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.