කෝලිට ප්‍රේක්ෂකයන් හූ කියයි
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව තිබේ.
ඊයේ කෝලි ලකුණු 36කට දැවී යාමෙන් අනතුරුව නැවත ක්‍රීඩාගාරයට යන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් හූ හඬ නඟමින් කෝලිට අප්‍රසාදය පළ කරනු දක්නට ලැබුණි.
එහිදී ක්‍රීඩාගාරය වෙත මඳ දුරක් ගමන්කරන කෝලි නැවත හැරී පැමිණ ප්‍රේක්ෂකයන් දෙස කෝපයෙන් බලා සිටින ආකාරයද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවල දැක්වේ.
පළමු ටෙස්ට් තරඟය පැවැත්වූ දිනයේ කෝලිගේ හැසිරීම හේතුවෙන් හටගත් මතභේදාත්මක තත්වයක් ක්‍රීඩා ලෝලීන් මෙසේ කෝලිට අප්‍රසාදය පළ කිරීමට හේතු වී ඇත.
තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් වෙත ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දක්නට ලැබුණි.
කෝලිගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවයි.
මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද සඳහන් කර තිබුණේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවයි.