දිමුත් ඕස්ට්‍රේලියාවට..?

ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 123 වැනි ක්‍රීඩකයා ලෙස ගාල්ලෙන් ටෙස්ට් ක්‍රිකට් ගමන ඇරඹූ ෆ්‍රෑන්ක් දිමුත් මදුෂංක කරුණාරත්න වසර 13කට පසුව එම ක්‍රීඩාංගණයේදීම 2025 පෙබරවාරි 9 දා ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය. හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම ආරම්භක පිතිකරුවාගේ භූමිකාවද දැරූ දිමුත්ගේ සමු ගැනීමේ මෙහොත වඩාත් විශේෂත්වයක් ගෙනදෙන්නේ ඔහු තරග 100කට ක්‍රීඩා කිරීමෙන් පසුව නික්ම යෑමත්, ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් ටෙස්ට් තරගයට සහභාගි විමත් හේතුවෙනි.
2019 පෙබරවාරියේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත් වූ දිමුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ 17 වැනි නායකයා ලෙස මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නම සටහන් කළ අතර, ඔහු නායකත්වය දුන් ටෙස්ට් තරග 30න් 12ක්ම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. ඒ අතර ටෙස්ට් තරග 12ක් පරාජයට පත් වූ අතර ඉතිරි තරග 6 ජය-පරාජයෙන් තොරව කෙළවර කරගැනීමට හෙතෙම සමත් විය. තවද, ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 7 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස දිමුත්ගේ නම ඉතිහාසයට එක් වන අතර අන්තර්ජාතික මට්ටමෙන් ඒ කඩඉම පසු කළ ටෙස්ට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමි වන්නේ 81 වැනි ස්ථානයයි.
එසේම ඔහුට ඉහළම දක්ෂතා දක්වන්නට හැකියාව හා වාසනාව ගෙනදුන් ක්‍රීඩාංගණය වූයේ ඔහුගේ ටෙස්ට් ආරම්භය සහ අවසානය සටහන් කළ ගාල්ල ක්‍රීඩාංගණයම වීමද විශේෂත්වයකි. එහිදී 2012-2025 කාලයේ ගාල්ලේදී ටෙස්ට් තරග 24කට ක්‍රීඩා කර ඇති දිමුත් ඉනිම 43කදී (නොදැවීම් 2ක් සහිතව) ලකුණු 2,040ක් රැස් කළේය.
අන්තර්ජාතික මට්ටමෙන්ද ගාල්ල ක්‍රීඩාංගණයේදී වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ලැයිස්තුවේ දිමුත්ට හිමි වන්නේ 3 වැනි ස්ථානයයි. ඔහුට ඉහළින් මහේල ජයවර්ධන (ලකුණු 2,382ක්) හා ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 2,206ක්) සිටිති. සමු ගන්නා විට ගාල්ලේදී ටෙස්ට් 25කට ක්‍රීඩා කර ඇති දිමුත් එම ක්‍රීඩාංගණයේදී වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත් විය. චන්දිමාල්ද මෙහිදී දිමුත් හා සම වන අතර, මැතිව්ස් ටෙස්ට් තරග 32කට ක්‍රීඩා කොට ගාල්ලේ 1 වැනියා වී ඇත. තරග 23ක් බැගින් ක්‍රීඩා කර ඇති මහේල හා සංගක්කාර මේ තරග සටහනේ 3 වැනි ස්ථාන සමව ලබාගෙන ඇත.
මේ අතින් බැලූ කල දිමුත් නම් සමුගත් දක්ෂ පිතිකරුවා චන්දිමාල්, මැතිව්ස් හා ගාල්ල යන නම් සමඟ ඓතිහාසික බැඳීමක් පවතී. දැනගන්නට ඇති පරිදි දිමුත්, චන්දිමාල්, මැතිව්ස් තිදෙනා ක්‍රීඩාංගණයෙන් පිටතදීත් ඉතා හොඳ මිතුරෝය. මැතිව්ස් හා දිමුත් සාන්ත ජෝසප් පාසලේ මිතුරෝය. එහෙත් ඊටත් එහා ගොස්, ගමන් කරන බසය තුළදීත් ක්‍රීඩාගාරයේදීත් ඔවුනොවුන්ගේ සමීපත්වය ඉහළය. දෛවයේ සරදමට මෙන් එම මිතුදමේ තරම පෙන්වන තවත් දසුනක් එදා දිමුත් සමුගත් මොහොතේ දැකගත හැකි විය. දිමුත් ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිමේදී දැවී යන විට කඩුල්ලේ අනෙක් අන්තයේ සිටියේ චන්දිමාල්ය. දිමුත් දැවී ගිය වහා ළඟට දිව ගොස් වැලඳගත් චන්දිමාල් විනාඩියක් පමණ යන තෙක් දිමුත් අත්හැරියේ නැත. කෙසේ හෝ චන්දිගෙන් මිදුණ දිමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේද ආචාරය මැද පිටියේ සිව් දෙසට පිත්ත ලෙළවා ආචාර කරමින් හැඟීම්බරව පිටියෙන් නිකමුණු අතර, ඊළඟට පිටියට එන්නට සිටියේ මැතිව්ස්ය.
ඔබ දන්නා පරිදි මැතිව්ස් යනු විකට්ටුවට පැමිණීම ප්‍රමාද වූ වරදට එක්දින තරගයකදී දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයාය. එහෙත් එදා ගාල්ලේදී දිමුත් පිටියෙන් ඉවත් වන තුරු මැතිව්ස් හතරේ සීමාවේම රැඳී සිටියේය. හේතුව, මැතිව්ස් තමන්ගේ ප්‍රමාදය ගැන නොසිතා දෙස්-විදෙස් ප්‍රේක්ෂකයන්ගේ සම්පූර්ණ අවධානය දිමුත් වෙත සලසන්න ඉඩ සලසා දීමයි.
මේ කාරණා මෙසේ සටහන් වෙද්දී එක්දින අන්තර්ජාතික තරග 50කට ක්‍රීඩා කර ඇති දිමුත් 2019 වසරේ අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරීය. එසේම අයිසීසීය විසින් නම් කරන ලද වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමට තුන්වරක්ම ඇතුළත් කරන්නට තරම් ආරම්භක පිතිකරු දිමුත්ගේ දස්කම් අගැයීමට ලක් වූ අතර, ඔහුගේ සමු ගැනීම සම්බන්ධයෙන් අයිසීසීය තම හෘදයංගම සුබපැතුම් එක් කරමින් නිල නිවේදනයක්ද නිකුත් කළේය.
දිමුත් තමා ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ගොස් වෘත්තීය ක්‍රිකට් පුහුණුකරුවකු වීමට කටයුතු කරන බවත්, ඉන්පසු ක්‍රිකට් වෙනුවෙන් තම සේවය සලසන බවත් පැවසීම සතුටට කරුණක් වන අතර, අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු.