ලංකා T10 ක්‍රිකට් තරගාවලියෙන් රටට ඇ. ඩොලර් මිලියන 10කට වැඩි ආදායමක් – තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල
ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10කට වැඩි ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 2900ක්) ශ්‍රී ලංකාවට ගලා එන බවත්, එම විශාල මුදල ශ්‍රී ලංකාවෙන් පිටතට නොගොස් රට තුළම රැඳී තිබීම විශේෂත්වයක් බවත් තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය. එබැවින් ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන මේ ටී10 තරගාවලියෙන් අති විශාල වාසියක් සිදුවන බව සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ගෙවීම් කරද්දී අමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදු කරනවා. විදෙස් ක්‍රීඩකයන්ට මුදල් ගෙවීම් අපෙන් සිදු වන්නේ නෑ. ඒ කණ්ඩායම්වල අයිතිකරුවන් විසින් එම විදෙස් රටේදීම ගෙවීම් කළ යුතුයි. එල්පීඑල් වගේම මේ ටී10 තරගාවලිය ශ්‍රී ලංකා ආර්ථීකයට ඉතා හොඳ දෙයක්. තරගාවලිය වෙනුවෙන් මහනුවර අවට හෝටල් කාමර 300ක් පමණ ප්‍රමාණයක් අවශ්‍යයි. දවස් 12ක කාලයක් ඒ කාමර තරගාවලිය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඒ අනුව හෝටල් කාමරවල රාත්‍රි නවාතැන් ගැනීම් 3600ක් පමණ සිදු වෙනවා. ඒකෙන් හෝටල් ව්‍යාපාරයට විශාල වාසියක්. මේ තරගාවලිය හරහා සෑම ක්ෂේත්රයකම ඍජු හා වක්‍ර ආදායම් මාර්ග ඇතිවන නිසා රටක් ලෙස වාසි රැසක් හිමි වෙනවා. විශාල විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට එනවා. සංචාරක කර්මාන්තයට හොඳ දෙයක්” සමන්ත දොඩන්වෙල මහතා පැහැදිලි කළේය.
“ක්‍රීඩාව පැත්තෙන් මේ තරගාවලිය වැදගත් වන්නේ ඕනෑම ඕවරයකදී වේගයෙන් පහරදිය හැකි (Power hitters) තරුණ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට හැකි වීමයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට හා විස්සයි20 කණ්ඩායමට ඒ වගේ ක්‍රීඩකයන් අවශ්‍යයි. පළපුරුදු ක්‍රීඩකයන් සමඟ ගැටී අත්දැකීම් ලබා ගැනීමට තරුණ ක්‍රීඩකයන්ට මේක හොඳ අවස්ථාවක්” දොඩන්වෙල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ක්‍රීඩකයන් අතරේ වැඩි වශයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්නතාය සහ සිම්බාබ්වේ යන රටවල ක්‍රිකට් තරු සිටිති. කණ්ඩායම් හයකින් සමන්විත මේ තරගාවලිය මේ 19 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය කේන්ද්‍රෙකාට පැවැත්වීමට කටයුතු යොදා ඇත.