ලෝක කුසලාන තරග කාලසටහනෙන් ආසියාවට වන අසාධාරණය ගැන අයිසීසීයට පැමිණිළි – දෙවැනි අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් නෑ
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේදී තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරග කාලසටහනේ අවසන් පූර්ව තරග අමෙරිකා වේලාව අනුව සැලසුම් කිරීමෙන් ආසියාතික රටවලට බලවත් අසාධාරණයක් සිදු වන බව අයිසීසීයට පැමිණිලි ලැබෙමින් පවතියි.
ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අමෙරිකා වේලාවට අනුව ජුනි 26 වැනිදා රාත්‍රී 8.30ට ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය අමෙරිකාවට අනුව 27 වැනිදා පෙරවරු 10.30ට ගයානා ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ තරග දෙක අමෙරිකාවට අනුව එසේ වුවද, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වේලාව අනුව ජුනි 27 වැනිදා පෙරවරු 6 හා රාත්‍රී 8 වේ. එනම් අමෙරිකාවට දින දෙකක් වුවද ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය වැනි ප්‍රධාන පෙළේ ටෙස්ට් ක්‍රිකට් රටවලට එක දිනයකි.
27 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් අයිසීසීය අමතර දිනයක් ලබාදී ඇත. බරපතළම ප්‍රශ්නය මතුව ඇත්තේ 27 දා රාත්‍රියේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් වෙන් නොකිරීමය.
දෙවැනි අවසන් පූර්ව තරගය හා අවසන් මහා තරගය අතර පැය 24ක කාලයක් පමණක් පවතින හෙයින් වර්ෂාවෙන් දිග්ගැසෙන තරගයේ ජයග්‍රාහකයන්ට අවසන් මහා තරගයට යෑමේදී විවේකයක් නැත. මේ අසාධාරණය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් අයිසීසීයේ අවධානය යොමු කළද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන 27 දා රාත්‍රියේ වර්ෂාව ඇති වුවහොත් අතිරේක දිනය වෙනුවට අමතරව තවත් විනාඩි 250ක් (පැය 4යි මිනිත්තු 16ක්) පමණක් නියම කර ඇත. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන දිනයේදී වර්ෂාව ඇදහැලී තරගය දිග්ගැස්සුණහොත් විස්සයි20 තරගය අවසන් කිරීමට ක්‍රීඩකයන්ට හා විනිසුරුවන්ට පැය අටක් පමණ රැදී සිටිය යුතු වේ.
ජූනි 28 දා එම ජයග්‍රාහී ක්‍රීඩකයෝ ගයානා සිට කිලෝමීටර් 1000ක් පමණ දුරින් ඇති බාබඩෝස් වෙත යායුතු අතර, එය පැය දෙක තුනක පමණ ගුවන් ගමනකි. පැය 24කට අඩු කාලයකදී එම කණ්ඩායම පිටියට පිවිසීම අනිවාර්ය බැවින්, පැය දෙක තුනක ගුවන් ගමනක් දෙවැනි අවසන් පූර්ව ජයග්‍රාහකයන්ට හැසිරවීම විශාල කරදරයකි. ඔවුන් ජුනි 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට අවසන් මහා තරගය උදෙසා පිටියට පිවිසිය යුතු වන්නේ මේ තත්ත්වය අනුව වෙහෙසකර තත්ත්වයකිනි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සහ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයකු ප්‍රකාශ කිරීම සඳහා හඹායන කණ්ඩායම අවම වශයෙන් ඕවර 10ක් ක්‍රීඩා කිරීම අවශ්‍ය වේ. කණ්ඩායම් 20ක් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර, ප්‍රතිවාදී පාකිස්තානය, කැනඩාව, අයර්ලන්තය සහ සත්කාරක අමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළත් වේ. ඉන්දියාව මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට පැමිණේ යැයි බොහෝ දෙනකු උපකල්පනය කරන බැවින් අයිසීසීයට අමතර පීඩනයක් එල්ල වී තිබේ.